බරපතල ලිංගික අපයෝජනය (Grave sexual abuse)

බරපතල ලිංගික අපයෝජනය (Grave sexual abuse)

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදකි. මෙහි අපයෝජනය යන්නෙන්ම අදහස් වන්නේ අනිසි ක්‍රියාවක් සිදු කිරීමය. බරපතල යන වචනයෙන් අර්ථවත් වන්නේ ඉතා දැඩි, සාහසික තත්වයේ සිදුවීමක් යන්නය.

එම බරපතල කාරණය අපගේ අපරාධ නීතියේ විස්තර කරනු ලබන ආකාරයට ස්ත්‍රී දූෂණය යන වරදට ඇතුලත් වන්නේ නැත. ඒ අනුව මෙය ස්ත්‍රී දූෂණය නොවන ලිංගික ක්‍රියාවකි.

එනමුත් මෙම ක්‍රියාව ද ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා කළ ක්‍රියාවක් සේ සැළකේ.

ඒ අනුව මෙම ක්‍රියාව සිදු කළ තැනැත්තා එසේ කලේ,

-ලිංගේන්ද්‍රිය යොදා ගැනීමෙන් හෝ,

-එසේත් නැත්නම් මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් පාවිච්චි කිරීමෙන් හෝ,

-එසේත් නැත්නම් යම් උපකරණයක් පාවිච්චි කිරීමෙන් හෝ,

එසේත් නැත්නම් වෙනත් යම් තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යම් විවරයක් තුළ හෝ ඒ තැනැත්තාගේ ශරීරයේ යම් කොටසක් පාව්චිචි කිරීමෙන් හෝ,

(අ) අනික් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව

(ආ) බලහත්කාරය පාවිච්චි කිරීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන්, අනික් තැනැත්තාට මරණ භය හෝ තුවාල සිදු කිරීමේ භය ඇති කිරීමෙන්, එසේත් නැත්නම් එම අනික් තැනැත්තා නීති විරෝධී ලෙස රදවා ගෙන සිටීමෙන් එම අනික් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව, හෝ

(ආ) අනෙක් තැනැත්තා සිහිවිකල්ව සිටියදී හෝ මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය මගින් මත්කරවන ලද අවස්ථාවක අනික් තැනැත්තාගෙන් ලබාගත් කැමැත්ත ඇතිව එකී ලිංගික තෘප්තිය සදහා වන ක්‍රියාව සිදු කලේ නම් එය බරපතල ලිංගික අපයෝජනයක් වේ.

මෙහි විස්තර කිරීම අනුව පෙනී යන කාරණා දෙකක් ගැන අවධානය යොමු කරවමු.

  • එනම් ක්‍රියාව සිදු කළේ පුරුෂයකු ද ස්ත්‍රියක ද යන්න මෙහි දී අදාල නොවේ. (ස්ත්‍රී දූෂණයක දී නම් පැහැදිලිවම ක්‍රියාව කළ තැනැත්තා ලෙස හදුනාගන්නේ පුරුෂයෙකි). මෙහි දී මෙම ක්‍රියාව ස්ත්‍රියක් විසින් ස්ත්‍රියකට එරෙහිව හෝ පුරුෂයකුට එරෙහිව හෝ සිදු කළ ද එය බරපතල ලිංගික අපයෝජනයකි. එසේම පුරුෂයකු විසින් පුරුෂයකුට එරෙහිව හෝ පුරුෂයකු විසින් ස්ත්‍රියකට එරෙහිව හෝ සිදු කළ ද එය බරපතල ලිංගික අපයෝජනයකි.
  • එසේම ලිංගික අපයෝජනයට ගොදුරු වූ තැනැත්තාගේ වයස අදාල වන්නේ නැත.

වරදට දඩුවම් මොනවාද?

(අ) බරපතල ලිංගික අපයෝජනය සිදු කරන තැනැත්තෙකුට අවුරුදු හතකට නොඅඩු වූ ද අවුරුදු විස්සකට නොවැඩි වු ද කාලයකට බරපතල වැඩ ඇතිව සිර දඩුවම් සහ දඩයකින් දඩුවම් ලබන්නේය. ඊට අමතරව වරදට ගොදුර කර ගන්නා තැනැත්තාට වන්දි ගෙවන ලෙස ද නියම කළ හැකිය.

(ආ) බරපතල ලිංගික අපයෝජනය කරන ලද්දේ අවුරුදු 18 කට අඩු තැනැත්තෙකුව නම් එවැනි තැනැත්තෙකුට අවුරුදු 10 කට නොඅඩු සහ අවුරුදු 20 කට නොවැඩි බරපතල වැඩ ඇතිව සිරදඩුවම් ලබන්නේය. එසේම වරදට ගොදුර කර ගන්නා තැනැත්තා වෙත වන්දි ගෙවන ලෙස ද නියම කළ හැකිය.

බරපතල ලිංගික අපයෝජනය යන චෝදනාව යටතේ විභාග වූ නඩුවක් ඇසුරින් ද මෙම අපරාධය පැහැදිලි කරගමු:

(1) තිස්ස පියදාස හෙවත් බේබි සීයාට එරෙහි නඩුව (අභියාචනාධිකරණ නඩු අංකය 121/2014)

චූදිතට එරෙහිව අම්පාර මහාධිකරණයේ විභාග වූ නඩුවෙන් චූදිත වරදකරු විය. එම වරදකරු කිරීමට එරෙහිව චූදිත විසින් අභියාචනයක් කර තිබුණි. එම සිදුවීම සහ තීන්දු ප්‍රකාශය මෙසේ දක්වමු:- 

මෙම නඩුවේ දී විත්තිය විසින් ඉදිරිපත් කරන ලද කරුණු:

(අ)       මෙම ක්‍රියාවට එරෙහිව කිසිදු අප්‍රසන්නතාවයක්, අකමැත්තක් හෝ විරෝධයක් පළ කිරීමට මෙම ක්‍රියාවට ගොදුරු වූ අයට අවස්ථාව තිබුණ නමුත් එවැනි විරෝධයක් කිසිදු අවස්ථාවක පෙන්නුම් නොකළ බව

(ආ)      චූදිත තැනැත්තා කිසිදු අවස්ථාවක ප්‍රචන්ඩත්වය භාවිතා නොකළ බවත්, කිසිදු බලහත්කාරකමක් සිදු නොකළ බව

(ඇ)      පැමිණිල්ල කර ඇත්තේ සිද්ධිය සිදු වීමෙන් මාස හයකටත් වැඩි කාලයක් ඉක්ම වීමෙන් බව

(ඈ)      වෛද්‍ය වාර්තා අනුව තුවාල සිදු වී ඇති බවක් දක්වා නොමැතිවීම සහ වෛද්‍ය වාර්තාවේ ගුද මාර්ගයේ තුවාල සිදු වී ඇති බව දක්වා තිබුණ ද එම තුවාල වෙනත් අය විසින් සිදු කරන ලද ලිංගික පහරදීමෙන් සිදුවී ඇතැයි සැළකිය හැකි බව.

(ඉ)       දෙපක්ෂයම ඉතා හොදින් දන්නා හදුනන එකම ගමේ ජීවත් වන සහ නිතර දෙවේලේ හමුවන අය බව සහ කිසිදු අවස්ථාවක චූදිතට එරෙහිව චෝදනාවක් නගා නොතිබු බව

(ඊ)       චූදිත තැනැත්තා තම ජීවිතය පුරාම නොකැලැල් චරිතයක් සහිතව ජීවත් වූ බව

(උ)       චූදිතගේ දරුවන් දෙදෙනාව රජයේ සේවකයන් ලෙස පොලීසියේ සහ ගුරු වෘත්තීයේ සේවයේ නිරතවන හෙයින් චූදිතව වරදකරු කිරීමෙන් ඔවුන්ගේ සමාජ පැවැත්මට කැලලක් වන බව

(එ)       චූදිත තැනැත්තා දැන් වයස අවු. 70 පමණ අයෙකු නිසා ඔහු ජීවිතයේ සැදැ සමය ගත කරමින් සිටින බව

(ඒ)       චූදිත තැනැත්තා දැනටමත් සිරදඩුවම් විදිමින් සිටින බව

මෙම කරුණු දැක්වීම් එකින් එක අධිකරණය විසින් බැහැර කරන ලද්දේ පහත සදහන් කාරණා මතය:

පළමුවැනි කරුණු දැක්වීම පිළිගත නොහැක්කේ සිද්ධියට ගොදුරු වූ ළමයා වයස අවුරුදු 16 ට අඩු වීම නිසාය. (සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ වයස අවුරුදු 12 කි)

දෙවැනි කරුණු දැක්වීම බැහැර කළේ විත්තිකරු විසින් දරුවාගේ කැමැත්ත තර්ජනය කිරීමෙන් ලබා ගෙන ඇති බව ඔප්පුව වි ඇති නිසාය.

පැමිණිලි කිරීමට ප්‍රමාද වූවාය යන කරුණු දැක්වීම බැහැර කරන ලද්දේ එසේ ප්‍රමාද වීමට සාධාරණ හේතු තිබූ බව අධිකරණයට පැහැදිලි වූ නිසාය.

එසේම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද රජයේ අධිනීතිඥ දැක්වූ කරුණු ද මෙහි දී සැළකිල්ලට ගත යුතුය. එම කාරණා වුයේ:- චූදිත කිසිම අවස්ථාවක තමා විසින් එම ක්‍රියාව නොකළ බව ප්‍රකාශ කර නැත. නමුත් සිදු කලේ වරදක් බව පිළිගන්නේ ද නැත. එම නිසාම මෙම නඩුව දික්ගස්සා ගනිමින් මෙම ක්‍රියාවට ගොදුරු වූ දරුවාට ද අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට යොමු කරවීමෙන් එම දරුවාට අධිකරණය ඉදිරියේ තමාට සිදු වූ දේ මෙනෙහි කරමින් කරුණු දැක්වීමට මගපාදමින් මෙම දරුවාව දෙවැනි වරටත් මානසික පීඩාවට පත් කළේය. දරුවාගේ වයස හා සසදන විට මෙම චුදිතයා දරුවාගේ සීයා කෙනෙකු වන වයසේ අයෙකුය. මෙම දරුවා සැබවින්ම මෙම චූදිතයාට ආමන්ත්‍රණය කර ඇත්තේ ද සීයා යනුවෙනි. එසේම මෙම චූදිතයා මෙම ක්‍රියාව ඉතාම උපාය මාර්ගික ලෙස සැලසුම් කර ඇති බව ද පෙනී යයි. හෙළි වූ කරුණු අනුව පෙනී යන්නේ මෙම ක්‍රියාව සිදු කිරීමේ දී චූදිතයා විසින් තම ලිංගේන්ද්‍රිය දරුවාගේ ඉකිලි අතර රදවා ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවයි.

එසේම විත්තිකරු විසින් මෙම වරද නැවත අවස්ථාවක ද කර ඇත. සියළු ක්‍රියාවන් සැලසුම් සහගතව සිදු කර ඇති බව පැහැදිලිය. එපමණක් නොව මෙම ක්‍රියාව වෙනත් ළමයින්ට සිදු කරන ලෙසත් එවැනි ළමයින් තමා වෙතට රැගෙන එන ලෙසත් මෙම චූදිතයා මෙම දරුවාට උපදෙස් දී ඇත. එසේම විශේෂඥ වෛද්‍ය සාක්ෂි අනුව මෙම දරුවා මෙම සිද්ධියෙන් මහත් මානසික කම්පනයකට පත් ව ඇති බව ද හෙළිදරව් වී ඇත.

ඉහත කරුණු අනුව මෙම චූදිතයාට එරෙහිව මහාධිකරණය විසින් ලබාදුන් දඩුවම වන වසර 15 ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම, රු. 10,000.00 ක දඩය සහ දරුවා වෙත රු. 150,000.00 වන්දිය ගෙවීමට කරන ලද නියෝගය ද තහවුරු කරන අතර මෙම දඩුවම් අඩු කිරීමේ කිසිදු හේතුවක් අධිකරණයට නොපෙනේ. ඒ අනුව මෙම අභියාචනය නිශ්ප්‍රභා කරමි.

අභියාචනාධිකරණ විනිසුරු