ගෘහස්ථ ප්‍රචන්ඩත්වය (Domestic Violence) වැලැක්වීමට නීතිය ඇත

ගෘහස්ථ ප්‍රචන්ඩත්වය (Domestic Violence) වැලැක්වීමට නීතිය ඇත

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිරීම් ය. දශක කීපයකට පෙර නම් මෙම ගෙවල්තුළ සිදුවන අඩදබර සහ එයින් ඇතිවිය හැකි ඕනෑම තරමක ප්‍රතිවිපාකයක් එම පිඩාවට පත් තැනැත්තා විසින් දරා ගත යුතුය, සහ පවුල් ජීවිතයේ හැටි එහෙමය යන අදහස ඉතා තදින් මුල් බැස ගෙන තිබුණි. නමුත් තවමත් එම අදහස සහමුලින්ම තුරන්ව ගොස් නැති බව ද ප්‍රකට කරුණකි. සැමියාගෙන් බිරිද පහර කෑම බිරිද විසින් ඉවසා වදාරා සිටිය යුතු දෙයක් බවත් පවුල් ජීවිතය තුළ ඒවා අනිවාර්ය අංගයක් වන බවත් සිතන පිරිස තවමත් බොහෝ සේ ඇත. ගෘහස්ථ ප්‍රචන්ඩත්වයෙන් පුද්ගලයන්ව ආරක්ෂා කර ගැනීම සදහා අප රටේ නීතියක් පවතින අතර එමගින් පීඩාවට පත් වන තැනැත්තා ගැහැණිය ද පිරිමියා ද දරුවා ද වුවද එයින් ආරක්ෂාව සළසා ගත හැකිය. පීඩකයාට එරෙහිව පියවර ගත හැකිය. නමුත් සැබවින්ම ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට අදාල සිද්ධීන් සළකා බලන විට පෙනී යන්නේ මෙම ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන් අති විශාල බහුතරයක් සිදුවන්නේ නිවසේ සිටින කාන්තාවන්ට එරෙහිව බවයි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ස්ත්‍රියට නිවස තුළ පවා පුරුෂ පක්ෂය හා සමග සම තත්වයේ ලා සැලකීමට දක්වන මැලිකමය. නමුත් මේ නිසා පවුල කෙරෙහී මෙන්ම සමාජය කෙරෙහී ද ඇති වන නරක ප්‍රතිවිපාක අතිශය දරුණුය, බිහිසුනුය, මනස කම්පාකරවන සුළුය.

වෛද්‍යමය පර්යේෂණ මගින් හෙළිදරව් කර ඇති පරිදී ගෘහය තුළ සිදුවන ප්‍රචන්ඩකාරී ක්‍රියා නිසා ස්ත්‍රියකගේ ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මට බරපතල හානි පැමිණෙනු ඇත. ඊට අමතරව මෙම බිහිසුනු ප්‍රචන්ඩත්වය දකින නිවසේ සිටින දරුවා එක්කේ හුදෙකලාවීමේ තත්වයකට පත්වීමට හෝ එසේත් නැත්නම් තමා ඇසුරු කරන්නන් සහ සමාජය වෙත ප්‍රචන්ඩකාරී ස්වරූපයකින් හැසිරීමට නැඹුරුතාවයක් ඇති විය හැකිය.මේ ප්‍රචන්ඩත්වය තමාගේම පවුලේ සහොදර සහෝදරියන් වෙත ඉතා කුඩා කාළයේ සිටම එල්ල කිරීමට කුඩා දරුවා පවා පෙළඹෙනු ඇත. එක් පැත්තකින් භාර්යාව ගුටි කකා දරු පවුල රැක ගැනීමට වෙර දරන අතර දරුවෝ ගෘහ ප්‍රචන්ඩත්වයේ ආදර්ශය ගෙන තම සොයුරු සොයුරියන් වෙත ද අසල්වාසී යාළු මිතුරන් වෙත ද පාසැලේ පංති කාමරයේ සහෝදර සිසුන් වෙත ද ප්‍රචන්ඩත්වය මුදා හැරීමට පෙළඹෙනු ඇත. එම නිසා නිවස තුළ ඇතිවන ප්‍රචන්ඩ ක්‍රියා බරපතල සමාජ ව්‍යාසනයන්ට මගපාදන හේතු කාරණා විය හැකිය. මෙම ප්‍රචන්ඩ ක්‍රියා බොහෝ තත්වයන් තුළ දී ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකම් ද බරපතල ලෙස උල්ලංඝණය කර ඇත.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් වර්ෂ 2005 දී ගෘහ ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීමෙ අරමුණ ඇතිව නීතියක් පැනවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගත්තේය. මෙම නීතිය මගින් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ගෘහ ප්‍රචන්ඩ ක්‍රියා නිසා පීඩාවට පත් තැනැත්තන්ට ආරක්ෂාව සැළසීමට විධිවිධාන යොදා ඇත.

මෙම නීතිය (හෙවත් පනත) මගින් ගෘහ ප්‍රචන්ඩත්වය නිසා පීඩාවට පත් තැනැත්තාට දෙආකාරයකට ආරක්ෂාව සළසා දෙයි:

  • අතුරු ආරක්ෂණ නියෝගය
  • ආරක්ෂණ නියෝගය

අතුරු ආරක්ෂණ නියෝගය තාවකාලික විධිවිධානයකි. මෙම නියෝගය මගින් කරන්නේ ප්‍රචන්ඩ ලෙස හැසිරෙන ලදැයි චෝදනා ලත් තැනැත්තාට තවදුරටත් එසේ හැසිරීම තහනම් කරනු ලබන නියෝගයක් ලබාදීමය. ආරක්ෂණ නියෝගයක් ලබා දෙන තුරු හෝ අතුරු ආරක්ෂණ නියෝගය ඉවත් කරන තුරු මෙම නියෝගය බලපැවැත්වේ.

මෙම අතුරු ආරක්ෂණ නියෝගය මගින් ප්‍රචන්ඩව හැසිරෙන පුද්ගලයාට එරෙහිව පහත සදහන් ආකාරයේ නියෝග පැනවිය හැකිය:-

  1. නිවසට ඇතුළුවීම තහනම් කිරීම,
  2. පීඩාවට පත් තැනැත්තාගේ සේවා ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීම, පාසැලට ඇතුළුවීම තහනම් කිරීම,
  3. පීඩාවට පත් තැනැත්තා තාවකාලිකව නැවතී සිටින ස්ථානයකට ඇතුළුවීම වළැක්වීම, පීඩාවට පත් තැනැත්තා කිසියම් ස්ථානයක හවුලේ වාසය කරන්නේ නම් එවැනි ස්ථානයකට ඇතුලුවීම වැළැක්වීම,
  4. පිඩාවට පත් තැනැත්තාගේ ළමයකු සමග සම්බන්ධතා පැවැත්වීම ළමයාගේ යහපත සදහා අවශ්‍ය බව අධිකරණය සෑහීමට පත්වන අවස්ථාවක සුදුසු කොන්දේසි අනුව පමණක් එම ළමයා සමග සම්බන්ධතා පැවැත්වීම, පීඩාවට පත් තැනැත්තාගේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම,
  5. පීඩාවට පත් තැනැත්තා සමග කවර හෝ ආකාරයක සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කිරීම වැළැක්වීම, පිඩාවට පත් තැනැත්තාට සහාය වන ඥාතියකු මිතුරකු සමාජ සේවකයකු වෛද්‍ය නිලධාරියකු හෝ වෙනත් එවැනි තැනැත්තෙකු වෙත ප්‍රචන්ඩත්වයපෑම වැළැක්වීම,
  6. හිරිහැරයක් වන පරිදී පීඩාවට පත් තැනැත්තාගේ පසුපසින් ගමන් කිරීම තහනම් කිරීම,
  7. පීඩාවට පත් තැනැත්තා අසරණභාවයට පත්වන පරිදී විවාහක නිවස විකිණීම, පැවරීම, අන්සතු කිරීම හෝ එකී දේපල සම්බන්ධයෙන් පීඩාවට පත් තැනැත්තාට බරක් පැටවෙන පරිදී කටයුතු කිරීම

ආරක්ෂක නියෝගය: ප්‍රචන්ඩකාරී හැසිරීම නිසා පීඩාවට පත් තැනැත්තා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පූර්ණ වශයෙන් විභාග කිරීමෙන් පසුව එවැනි ප්‍රචන්ඩකාරීව හැසිරුන තැනැත්තාගෙන් මෙම පිඩාවට පත් තැනැත්තාට ආරක්ෂාව සැළසිය යුතු බව අධිකරණය නිගමනය කරනනේ නම් එවිට ආරක්ෂණ නියෝගයක් පනවනු ලබයි. මෙම ආරක්ෂණ නියෝගය මගින් එම ප්‍රචන්ඩකාරී තැනැත්තා විසින් හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයෙකු විසින් හෝ පීඩාවට පත් තැනැත්තාට ප්‍රචන්ඩ ක්‍රියා මුදා හැරීම තහනම් කරනු ලබයි. මෙම ආරක්ෂණ නියෝගය මාස 12 ක කාලයක් බලපැවැත්වේ.

අතුරු ආරක්ෂණ නියෝගය හෝ ආරක්ෂණ නියෝගය කඩ කරනු ලැබුවහොත් වහාම පොලිසිය වෙත පැමිණිලි කළ යුතුය. නියෝගය කඩ කර ඇත්නම් වරදකරුට රු. 10,000.00 නොඉක්මවන දඩයක් හෝ වසරක සිරදඩුවමක් හෝ එම දඩුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලය ඇත.

පීඩාවට පත් තැනැත්තා ළමයකු නම් (වයස 18 ට අඩු තැනැත්තෙකු) ඒ පිළිබද පැමිණිල්ල ළමයාගේ දෙමාපියන්ගෙන් එක් අයෙකුට, භාරකරුවකුට, ළමයා පදිංචි සිටින ස්ථානයේ පදිංචි වෙනත් අයෙකුට, ළමා ආරක්ෂණ අධිකාරිය විසින් බලය පවරන ලද තැනැත්තෙකුට එකී දරුවා වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

ගෘහ ප්‍රචන්ඩත්වය වැළැක්වීමේ නීතියේ ඇති විශේෂත්වයක් නම් මෙවැනි නඩු විභාගයක තොරතුරු ප්‍රසිද්ධියේ මුද්‍රණය කර පල කිරීම (පුවත්පත් මගින් හෝ) තහනම් කර තිබීමය. එය සැබවින්ම පැමිණිලිකරුවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම හෙවත් සිද්ධියේ රහස්‍යභාවය රැකදීම සදහා ගෙන ඇති විධිවිධානයකි.

නමුත් එවැනි නඩුවක තීන්දුවට එරෙහිව අභියාචනා කර ඇත්නම් එවැනි අභියාචනයක් විභාග කරනු ලැබුවේ අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් එවැනි අභියාචනා නඩුවක තොරතුරු ප්‍රසිද්ධියේ පළ කිරීම තහනම් කර නැත.