ලිංගික හැසිරීමට ස්ත්‍රියගේ කැමැත්ත තිබුණා යැයි ස්ත්‍රී දූෂණ චෝදනාලත් තැනැත්තා කියයි

ලිංගික හැසිරීමට ස්ත්‍රියගේ කැමැත්ත තිබුණා යැයි ස්ත්‍රී දූෂණ චෝදනාලත් තැනැත්තා කියයි

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බොහෝ විත්තිකරුවන් කියන ප්‍රකාශයකි. ස්ත්‍රී දූෂණය යන වරද ඔප්පු කිරීමේ දී මෙම කැමැත්ත යන්න අතිශය වැදගත් සාධකයකි.

සැබවින්ම කැමැත්ත යනු කුමක්ද?  කැමැත්ත යනු ක්‍රියාවලියකි. සමස්ථ ලිංගික බැදියාවක් ඇතිකරවන ක්‍රියාවලියේ දී සෑම එක් එක් පියවරක් සදහාම කැමැත්ත තිබිය යුතුය. එක් පියවරකින් ඊලග පියවරට යෑමට කැමැත්ත තිබිය යුතුය. ඕනෑම පියවරක දී එය එපා යැයි ප්‍රකාශ කිරීමට ස්ත්‍රියට අයිතිය සහ හැකියාව ඇත.

එසේම කැමැත්ත යන්න ඇගවීමෙන් ලබා දී ඇති දෙයක් සේ නොසැලකිය යුතුය. එනම් කිසියම් තැනැත්තෙකු සමග ස්ත්‍රියක් ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම තුළ එම තැනැත්තාගේ සෑම ක්‍රියාවකටම ස්ත්‍රිය කැමැත්ත දී ඇති සේ තේරුම් නොගත යුතුය.

එසේම කැමැත්ත යන්න ඉතා පැහැදිලි ව සහ අවබෝධයෙන් යුතුව ප්‍රකාශ විය යුතු දෙයකි. එනම් මෙම සිදුවීමට ආසන්නව පවතින ක්‍රියාව පිළිබදව, එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබදව අවබෝධයක් ඇතිව කැමැත්ත ප්‍රකාශ විය යුතුය. ගැහැණු ළමයාගේ වයස අවුරුදු 16 අඩු වන විට ඇයගේ කැමැත්ත තිබුනත් එම ක්‍රියාව ස්ත්‍රී දූෂණය සිදු කළා වන්නේ එ නිසාය. ළමයෙකු ගේ කැමැත්ත, මත් පැන් හෝ මත්ද්‍රව්‍ය බලපෑම යටතේ සිටින තැනැත්තෙකු විසින් දෙනු ලබන කැමැත්ත නිරවුල්, පැහැදිලි සහ අවබෝධයෙන් දෙන කැමැත්තක් නොවේ. තීරණයක් ගැනීමට තරම් නොහැකි වන තරමට මත් ව සිටී නම් එවැනි අයෙකුට තම කැමැත්ත නිරවුල්ව සංනිවේදනය කළ නොහැක.

තවද, කැමැත්ත යන්න වාචිකව ප්‍රකාශ විය යුතු දෙයකි. හුදෙක් ඇය විසින් එපා යැයි නොකී නිසා අදාල ක්‍රියාවට කැමැත්ත දී තිබුනේ යැයි අදහස් නොවේ. එම නිසා කැමැත්ත යන්න අන්‍යෝන්‍ය වශයෙන් තිබිය යුතු ප්‍රකාශනයකි. එනම් ලිංගික සංසර්ගීය ක්‍රියාවලිය සදහා දැනුවත්ව කැමැත්ත දී තිබීම අවශ්‍ය කරුණකි. මෙයින් කියන්නේ කුමක්ද? නිරවුල් සංනිවේදනය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ අවංකභාවය වඩා යහපත් ස්ත්‍රී පුරුෂ සබදතා සහ ලිංගික සබදතා සදහා අවශ්‍ය ය යන්නය.

ඒ අනුව එවැනි තත්වයක් යටතේ නොවන ලිංගික එක්වීම් බොහෝ විට ස්ත්‍රී දූෂණයක් බවට පත් විය හැකිය.

අපි මෙහි දී මෙම කැමැත්ත යන කාරණය අධිකරණයේ දී පැහැදිලි කර ඇති නඩු ඇසුරින් විමසා බැලීම වඩාත් සුදුසුය.

කමල් අද්දරආරච්චි නඩුව: මෙහි විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් විය. එක් චෝදනාවක් වූයේ විත්තිකරු විසින් ගැහැණු ළමයකු නීති විරෝධී ආකාරයෙන් ලිංගික සංසර්ගය සදහා පොළඹවා ගැනිම හෝ බලහත්කාරය පෑම සදහා පැහැර ගෙන යාමය. දෙවැනි චෝදනාව වූයේ විත්තිකරු විසින් ගැහැණු ළමයකු දූෂණය කිරීමය. නඩු විභාගය අවසානයේ දී මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම චෝදනා දෙකටම විත්තිකරු වැරදිකරු බවට නිගමනය කර පළමු වරද සදහා වසර දෙකක බරපතල සිර දඩුවම් ද දෙවැනි වරද සදහා වසර 10 ක සිර දඩුවම් ද නියම කළේය.  ඊට අමතරව අදාල තරුණියට රු. 900,000.00 ක් වන්දි ගෙවන ලෙස ද විත්තිකරුට නියම කළේය. මෙම තීන්දුවට එරෙහිව විත්තිකරු අභියාචනා කළ අතර එහිදී ලිංගික සංසර්ගයට කැමැත්ත නොතිබූ බව ඔප්පු කිරීමට පැමිණිලි පක්ෂයට නොහැකි වී ඇත යන කරුණ උඩ අභියාචනාධිකරණය විසින් විත්තිකරු නිදොස් කොට නිදහස් කලේ ය.

සුප්පයියා රාජේන්ද්‍රන් නඩුව (CA 234/2011):  මහාධිකරණය විසින් තමා වදරකරු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑලෙන් අභියාචනාධිකරණය විසින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලදී. කැමැත්ත පිළිබද කාරණය සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීම මෙහි ප්‍රධාන කාරණයක් විය. මෙම නඩුවේ දී බණ්ඩාරවෙල පදිංචිව සිටි 19 වියැති තරුණියක් බම්බලපිටියේ පිහිටි චූදිත තැනැත්තාගේ නිවසේ මෙහෙකාරකමට පැමිණ සිටියාය. තරුණිය චූදිතගේ නිවසට පැමිණියේ 1999 අප්‍රේල් 4 වැනි දින ය. ඇය ඊට පෙර බත්තරමුල්ල සහ දෙහිවල පිහිටි නිවාස දෙකක ද සේවය කර තිබුණි. නිවසේ සිදු කළ යුතු වැඩ මොනවාද යන්න චූදිතගේ භාර්යාව විසින් පැහැදිලි කර දී තිබුණි. චූදිත විසින් යම් යම් අවස්ථාවල ඇයට ඇයගේ ප්‍රයෝජනය සදහා වන සබන්, දත් බුරුසු වැනි දේ ගෙනවිත් දී තිබුණි. චූදිත විසින් එක්තරා අවස්ථාවක දී ගැහැණියකගේ අඩ නිරුවත් ඡායාරූපයක් පෙන්වා ඇත. එවැනි පින්තූරයක් පෙන් වූ දිනයට පසු දින රාත්‍රියේ චූදිත විසින් ඇය නිදා සිටි කාමරයට පැමිණ ඇයගේ ශරීරයට බර වී ඇයගේ ඇදුම් ගලවා ඇත. ඉන් පසුව ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදී ඇත. චූදිත විසින් මෙම ක්‍රියාව සිදු කරන අවස්ථාවේ ඇයගේ මුඛය සිය අතින් තදින් වසා ගෙන සිටි බවත් තමා කෑ ගැසීමෙන් වැළකී සිටියේ චූදිතගේ භාර්යාවට ඇසීමෙන් විශාල කළබගෑනියක් නිවසේ ඇතිවේ ය යන බිය නිසා බවත් තරුණිය ප්‍රකාශ කර තිබුණි. චූදිත විසින් මෙම ක්‍රියාව ඊට පසු දිනයේ ද සිදු කර තිබුණි. ඉන් දින දෙකකට පසුව මෙම තරුණිය නිවසේ කිසිවෙකුට නොපවසා තමා පදිංචිව සිටි බණ්ඩාරවෙල බලා ගමන් කිරීමේ අදහසින් කොළඹ බස් නැවතුවට පැමිණ ඇත. බණ්ඩාරවෙල බලා යාමට ඇති බස් රථය නොපැමිණ ඇති අතර සවස් වන තුරු ඇය එම ස්ථානයේ සිටිනු නිරික්ෂණය කරන ලද හමුදා භටයන් විසින් ඇයව පොලිසියට භාර දී තිබුණි. එහි දී ඇය පොලිසියට තමා මුහුණ දුන් සිදුවීම පවසා ඇත. පොලිසිය විසින් චුදිතව අත්අඩංගුවට ගෙන මහාධිකරණයේ නඩු පවරා දූෂණ චෝදනාව යටතේ වරදකරු කර තිබුණි.

මෙම තීන්දුවට එරෙහිව චූදිත අභියාචනා කළේය. අභියාචනා නඩුවේ තීන්දු ප්‍රකාශයක් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ විනිසුරු පී.ඩබ්.ඩී.සී. ජයතිලක විනිසුරු තුමා සිය තීන්දු ප්‍රකාශයේ මෙසේ දක්වා ඇත: තමා සමග ලිංගිකව හැසිරුනේ කවුරුන්ද යන්න ගැන තරුණියට කිසිදු සැකයක් නොතිබුණි. ඒ වෙනත් කිසිදු පිරිමි තැනැත්තෙකු එම නිවසේ වාසය නොකළ නිසාය. එම නිසා චූදිතයා කවුද යන්න ඉතා පැහැදිලි වුණි. නමුත් ඊලග ප්‍රශ්නය වූයේ ලිංගික සංසර්ගය යන ක්‍රියාව සිදු වූයේ ස්ත්‍රියගේ කැමැත්තට විරුද්ධව ද එසේ නැත්නම් කැමැත්ත නොමැතිව ද යන්න ය. එසේත් නැත්නම් කැමැත්ත ලබාගත්තේ බලහත්කාරය පෑමෙන් හෝ පෙළඹවීමකින් ද යන්න ය. නිරුවත් ඡායාරූප පෙන්වීම පෙළඹවීමක් සේ සැළකිය නොහැකිය. මෙම තරුණියට තමාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම සේවායෝජකයා වන චූදිතයාව එම නිවසේ අන් අයගෙන් ආරක්ෂා කර ගැනීමට ඇයට අවශ්‍ය ව තිබූ බව පැහැදිලි ය. එසේම මෙම සිද්ධිය වන අවස්ථාව දක්වාම ඇය කන්‍යාවියක්ව සිටි බව ඇය ප්‍රකාශ කර තිබුණ ද මෙම සිදුවීම නිසා ඇයට තැති ගැන්මක් සිදු වූ බව හෝ දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත් වූ බවක් හෝ ඇති වූ බවට කිසිදු සාක්ෂියක් අධිකරණය ඉදිරියේ නැත. ඒ වෙනුවට අපට නිරීක්ෂණය කළ හැක්කේ එම ක්‍රියාව දෙවැනි දිනයේ ද නැවතත් සිදුවීමේ අපේක්ෂාවෙන් ඇය සිටි බවයි. ඇය තම ගම වන බණ්ඩාරවෙල බලා යාමට තීරණය කරන ලද්දේද  එම දෙවැනි සිදුවීමෙන් පසු දින දෙකක් පුරා එම නිවසේ තම වගකීමේ ඉටු කිරීම් ද සිදු කිරීමෙන් පසුව ය. ලිංගික ක්‍රියාවලිය සදහා පුරුෂයා සමග සහයෝගයෙන් ක්‍රියා කළ පසුව තමාගේ කැමැත්තට එරෙහිව එය සිදු වූ බව හෝ තමා විසින් නොකළ යුතු දෙයක් සිදු කළ බව පසුව අවබෝධවීම නිසා එයට තමාගේ කැමැත්තක් නොවූ බව ස්ත්‍රියක ප්‍රකාශ කළ හැකිද? පැහැදිලිවම එය අපගේ නීතිය අනුව නොහැකි ය. ලිංගික ක්‍රියාවලිය සදහා ස්ත්‍රිය කැමැත්තෙන්ම හවුල් වූවාද යන්න පිළිබදව බරපතල සැකයක් පවතින්නේ නම් එම සැකයේ වාසිය පැහැදිලිවම චූදිත වෙත හිමි විය යුතුය. මෙම නඩුවේ තරුණිය ප්‍රථම වරට මෙම සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ චූදිත විසින් ඇයගේ ඇදුම් ඉවත් කරන අතර තුර ඇය විසින් කුමක් කළේද? ඇය ඒ සදහා විරෝධය පෑ බවට කිසිදු සාක්ෂියක් නැත. එම නිසා චූදිත එම ක්‍රියාව සිදු කළේ ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව යන්න සාධාරණ සැකයෙන් ‍තොරව ඔප්පු කිරීමට පැමිණිලිකාර පක්ෂය අපොහොසත් ව ඇත. එම නිසා මහාධිකරණය විසින් විත්තිකරු වරදකරු කිරීම නිශ්ප්‍රභා කරමි.  

ඒ අනුව මෙම අභියාචනයෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. මෙම තීන්දුවෙන් තහවුරු කරනු ලබන කාරණය නම් ස්ත්‍රියගේ කැමැත්ත තිබූ බව විත්තිකරු විසින් ප්‍රකාශ නොකළ ද මෙම තරුණිය කැමැත්තෙන්ම ක්‍රියාවට හවුල් වූ බව පෙනී යෑම මත ඇයගේ කැමැත්ත නොතිබූ බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වන්නේ නම් ස්ත්‍රී දූෂණ චෝදනාව සාර්ථක වන්නේ නැති බව ය.

තවත් නඩුවක් ලිංගික සංසර්ගයට ස්ත්‍රියගේ කැමැත්ත තිබුණාය යන්න විත්තිකරුවන්ගේ නිදහසට කාරණයක් (විත්ති වාචකයක්) වශයෙන් ඉදිරිපත් ව ඇති නඩුවක් ලෙස දැනට අධිකරණය ඉදිරියේ පවතින කොළඹ පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීම පිළිබද නඩුව දැක්විය හැකිය. මෙම නඩුවේ චූදිතයන් ලෙස සැළකෙන තරුණියගේ පෙම්වතා වශයෙන් සිටි බව කියන වෛද්‍යවරයකු සහ ඔහුගේ තවත් මිතුරන් යැයි කියන කීප දෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මෙම නඩුව තවමත් මූලික අදියරේ පවතින නඩුවකි. මෙම විත්තිවාචකය විත්තිකරුවන් විසින් තහවුරු කරනු ලබන ආකාරය කෙසේද යන්න ගැන අපගේ සැළකිල්ල යොමුවිය යුතුය. මෙම නඩුවේ අධිකරණ ක්‍රියාවලිය අප විසින් අධීක්ෂණය කරනු ලබන අතර නඩුව අවසන් වූ පසුව ඒ පිළිබද අධිකරණ තීන්දුව පූර්ණ විමසුමට ලක් කිරීමට අපි අදහස් කරමු.