බූදල් නඩුවක් මගින් තීන්දුවක් නොලබා මිය ගිය අයකුගේ දේපල පැවරිය හැකිද?

බූදල් නඩුවක් මගින් තීන්දුවක් නොලබා මිය ගිය අයකුගේ දේපල පැවරිය හැකිද?

පුද්ගලයකු මිය යන අවස්ථාවේ දී එම පුද්ගලයාගේ නමට ඇති සියළු චංචල සහ නිශ්චල දේපලවල වටිනාකම රුපියල් ලක්ෂ හතලිහකට (මිලියන 4 කට) වැඩි නම් එම දේපල සම්බන්ධයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම සදහා එම අයිතිවාසිකම් ඉල්ලා සිටින අය විසින් දිසා අධිකරණයේ බූදල් නඩුවක් පැවරිය යුතු ය.

නමුත් පවතින නීතිය අනුව පුද්ගලයකු මිය ගිය පසුව එම තැනැත්තාගේ දේපල මිය ගිය අයගේ උරුමකරුවන්ට හිමි වේ. දිසා අධිකරණයේ බූදල් නඩු පවරා එම බූදලය සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ප්‍රෙබේට් හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය නිකුත් කර නැති වූව ද එම දේපලේ උරුමකරුවන්ට තමන්ගේ අත්සන යොදා සකස් කරන සාධන පත්‍ර (ඔප්පු) දේපල පැවරිය හැකිය.

එසේ වූවත් බූදල් නඩුවක් පැවරීම මගින් තහවුරු කර ගන්නා ප්‍රධානම කාරණය නම් මියගිය අයගේ දේපලේ උරුමකරුවන් කවුරුන්ද යන්න අධිකරණ නියමයකින් තහවුරු වන නිසාය. එවිට එම දේපල පසුව ලබන තැනැත්තාගේ හිමිකම ස්ථිර සහ නිරවුල් හිමිකමක් බව තහවුරු වනු ඇත.

එසේම බූදල් නඩුවක් පැවරීම සමග එම බූදලය පිළිබදව ප්‍රසිද්ධ ප්‍රකාශනයක් පුවත්පත් වල ද පලකරනු ලැබේ. එමගින් බලාපොරොත්තු වන්නේ මිය ගිය තැනැත්තාගේ බූදලයෙන් ලැබිය යුතු කිසියම් දෙයක් (ඉඩමක්, ණය මුදලක්, වෙනත් චංචල දෙපලක්) පිළිබද හිමිකම් කියන තැනැත්තෙකුට එම හිමිකම ඉල්ලා සිටීම සදහා අවස්ථාව සළසා දීම ය.

මිය ගිය තැනැත්තා මිය යාමට පෙර අන්තිම කැමති පත්‍රයක් සකසා තිබුනේ නම් එම අන්තිම කැමති පත්‍රය ඔප්පු කිරීමෙන් පසුව එම අන්තිම කැමති පත්‍රයේ දක්වා ඇති ආකාරයට බූදලය බෙදා දීමට හැකිය.

මියගිය තැනැත්තා අන්තිම කැමති පත්‍රයක් සකසා නොතිබුනේ නම් එවිට එම පුද්ගලයාට අදාල වන  පුද්ගල නීතිය අනුව මිය ගිය තැනැත්තාගේ දේපල උරුමකරුවන් වෙත හිමි වන්නේය.