අන්තිම කැමති පත්‍රයක් ඔප්පු කරන්නේ කෙසේද?

අන්තිම කැමති පත්‍රයක් ඔප්පු කරන්නේ කෙසේද?

මිය ගිය තැනැත්තෙකුගේ අන්තිම කැමති පත්‍රයක් ඇති බව කියා සිටින තැනැත්තා විසින් එම අන්තිම කැමති පත්‍රයේ අව්‍යාජ බව ඔප්පු කළ යුතුය.

එහිදී එම අන්තිම කැමති පත්‍රය අන්තිම කැමතිපත්‍රකරු විසින්ම අත්සන් කරන ලද බවත්, එම අවස්ථාවේ දී ඔහු මනා සිහිබුද්ධියෙන් යුතුව සිටි බවත්, කරුණු තේරුම්ගත හැකි තත්වයක සිටි බවත්, අන්තිම කැමති පත්‍රයේ සදහන් කර ඇති සියල්ල මනා සේ වටහා ගෙන සිය කැමැත්තෙන්ම අත්සන් කරන ලද බවත් ඔප්පු කළ යුතුය.

අත්සන යන්න අව්‍යාජ අත්සන බව ඔප්පු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. අන්තිම කැමති පත්‍රකරු මානසික දුබලතාවයකින් සිටියේ නම් වුවද අත්සන අව්‍යාජ විය හැකිය. එවැනි තත්වයක දී අත්සන් නිර්ව්‍යාජ  වුවද සිදුවීම ස්වභාවික නැත.

මෙවැනි ගැටළු පැන නගින්නේ අන්තිම කැමති පත්‍ර බොහෝ විට ලියනු ලබන්නේ එකී තැනැත්තා ඉතා අසනීපව දුබලව සිටින අවස්ථාවල වීම නිසාය.

අන්තිම කැමති පත්‍රකරු තමා අත්සන් කරනු ලබන්නේ කවර ආකාර ලියවිල්ලකට ද යන්න වටහා ගැනීමට තරම් මනා සිහිබුද්ධියකින් යුක්ත නොවේ නම් එවැනි අන්තිම කැමති පත්‍රයකට අත්සන් නොගත යුතුය.

අන්තිම කැමති පත්‍රයක අව්‍යාජභාවය ඔප්පු කිරීමට එහි සාක්ෂිකරුවන් කැදවිය හැකිය.

අන්තිම කැමති පත්‍රයක් පිළිබද ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නේ බොහෝ විට එම අන්තිම කැමති පත්‍රය පිළිබද සැකයක් මතු වූ විටය. කිසිවෙකු විසින් හෝ ඒ පිළිබදව විරෝධයක්, අවිනිශ්චිතතාවයක්, සැකයක් ඇති බව ප්‍රකාශ කරනු ලැබුව හොත් එවිට එහි නිර්ව්‍යාජත්වය ඔප්පු කිරීමේ වගකීම එම අන්තිම කැමති පත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කරන තැනැත්තා වෙත පැවරේ. එසේ එම අන්තිම කැමති පත්‍රය පිලිබද විරෝධයක්, අවිනිශ්චිතතාවයක්, සැකයක් ඇති බව කිසිවකු විසින් ප්‍රකාශ කරනු නොලැබුවහොත් සාමාන්‍යයෙන් එම අන්තිම කැමති පත්‍රය ඔප්පු කර ඇති බව අධිකරණය සළකනු ලබයි.

ඉතා අසනීප තත්වයෙන් නැත්නම් මරණාසන්නව සිටිය දී සකස් කරන ලද අන්තිම කැමති පත්‍රයක් සම්බන්ධයෙන් වන විට බොහෝ විට එය ඔප්පු කිරීම අවශ්‍ය වුවහොත් එම අන්තිම කැමති පත්‍රකරුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා සාක්ෂිකරුවෙක් ලෙස කැදවනු ඇත. එයින් බලාපොරොත්තු වන්නේ අන්තිම කැමැත්තට අත්සන් තබන අවස්ථාවේ දී අන්තිම කැමතිපත්‍රකරු මනා සිහිබුද්ධියෙන් සිටිය බව ඔප්පු කර ගැනීම පිණිසය.