දික්කසාදවීමට ඔබට හේතුවක් තිබේද?

ඔබ දික්කසාදවීමේ අදහසින් යුතුව සිටින්නෙක්ද? ඔබේ විවාහ ජීවිතය පිළිබදව ඔබතුල කිසිදු සංතෘප්තියක් නැති වුවත් නීත්‍යානුකූල විවාහයක් විසුරුවා හැරීම විවාහවීම තරම් සරළ නැත. ඔබ ඔබගේ විවාහ ජීවිතයේ සහකරුවා හෝ සහකාරිය අතහැර ගොස් කොපමණ කාලයක් ගත වුවද ඔබ දික්කසාද වූ අයෙකු සේ සළකන්නේ නැත. දික්කසාද නොවී ඔබට නැවත විවාහයක් ලියා පදිංචි කර ගැනීමේ හැකියාවක් ද නැත. එම නිසා විශේෂයෙන්ම වෙනත් විවාහයක් කර ගැනීමේ අදහසින් සිටින සෑම අයෙකුව අනිවාර්යයෙන් නීතිය මගින් දික්කසාදය ලබා ගත යුතුව ඇත. ඔබට දික්කසාදවීමට අවශ්‍ය නම් ඒ සදහා නීතිය මගින් පිලිගනු ලබන හේතුවක් හෝ හේතු කීපයක් තිබිය යුතුය.

අපගේ සාමාන්‍ය විවාහ ආඥා පනත යටතේ අධිකරණය මගින් දික්කසාද තීන්දුවක් ලබා ගැනීම සදහා පහත සදහන් කාරණා 3 න් එකක්වත් ඔප්පු කළ යුතුව ඇත.

1.      අනාචාරය

2.      ද්වේශ සහගත අතහැරයාම හෝ අනුමිත ද්වේශ සහගත අතහැරයාම

3.      විවාහය සිදුවන අවස්ථාවේ දී පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය

ඔබට දික්කසාදය ලබා ගැනීමට අවශ්‍ය නම් ඉහත කී කරුණු අතරින් එකක් පැවතීම ඔප්පු කිරීම ප්‍රමාණවත් වේ. දැන් අපි ඉහත කරුණු 3 තවදුරටත් පැහැදිලි කරමු.

අනාචාරය

විවාහක යුවලකගෙන් එක් අයෙකු තම විවාහ සහකරුගෙන් බාහිර වූ තැනැත්තෙකු සමග අඹුසැමි සම්බන්ධතා පැවැත්වීම මෙයින් අදහස් වේ.  මෙම අනාචාරය යන්නට අස්වාභාවික ලිංගික සම්බන්ධතාවය ද ඇතුලත් වන බව සැලකිය යුතුය. අනාචාරය මත දික්කසාදය ඉල්ලා සිටීමට ඔබට නිමිත්තක් පහල වී ඇත්නම් එහිදී ඔබ විසින් එම අනාචාරියාව ද නඩුවේ විත්තිකරුවකු සේ නම් කළ යුතුය. එම තැනැත්තා සම විත්තිකරු වශයෙන් හැදින් වේ. එනම් තම බිරිද හෝ සැමියා අනාචාරයේ හැසිරුනේ කා සමග ද එකී තැනැත්තා හෝ තැනැත්තිය ද මෙවැනි දික්කසාද නඩුවක සමවිත්තිකරු සේ නම් කළ යුතුය. එසේ අනාචාරිකයා සම විත්තිකරුවකු සේ නම් නොකර, අනාචාරය මත දික්කසාද නඩුවක් පැවරිය නොහැකි බව ද සැළකිය යුතුය.

නමුත් ඉහත අවශ්‍යතාවයෙන් බැහැර විය හැකි විශේෂ අවස්ථාවක් ද ඇත. එනම් තම භාර්යාව (හෙවත් විත්තිකාරිය) ගණිකාවක් වශයෙන් ජීවිතය ගත කරන බවත්, ඇය සම අනාචාරයේ යෙදුන කිසිම තැනැත්තකු පැමිණිලිකරුවන තමා විසින් නොදන්නා බවත්, එවැනි අනාචාරිකයකු ගැන සොයා බැලීමට තමා විසින් සෑම උත්සායක්ම දැරූ නමුත් එය අසාර්ථක වූ බවත් කරුණු සහිතව සනාථ කළ හැකි නම් හෝ අනාචාරිකයා මිය ගොස් ඇත්නම් එවැනි අවස්ථාවක එම අනාචාරිකයා සම විත්තිකරු සේ නම් නොකර නඩුවක් පැවරිය හැකිය. එම කරුණු දිව්රුම් ප්‍රකාශයකින් හෝ වෙනත් සාක්ෂිමත තහවුරු කරනු ලැබිය යුතුව ඇත.

අනාචාරය පිළිබද සුවිශේෂ තත්වයන් ද අපගේ නඩු සාහිත්‍යය තුල අපට හමුවේ. එනම් අනාචාරයේ යෙදීම සදහා සැමියා විසින් භාර්යාව පොළඹවනු ලබන අවස්ථා යටතේ පවරනු ලැබූ නඩු ද තිබේ. එවැනි තත්වයකට ඔබ ලක් ව තිබේ නම් සම විත්තිකරු වරදක් කලේ යැයි තර්ක කිරීමට ඉඩක් නැත. එම නිසා අනාචාරයට පෙළඹවූයේ ය යන කාරණා ඉදිරිපත් කර දික්කසාද තීන්දුවක් ලබා ගත නොහැකි බව සැලකිය යුතුය.

එසේම අනාචාරය මත නඩුවක් ඔප්පු කරන අවස්ථාවක අනාචාරය සිදු වූ ස්ථානය හෝ ස්ථාන සහ වේලාවන් ද දැක්විය යුතුය.

එසේම අනාචාරය මත දික්කසාදය ඉල්ලා සිටින අවස්ථාවක එවැනි අනාචාරික සමවිත්තිකරුගෙන් වන්දි මුදලක් ඉල්ලා සිටීමේ හැකියාවක් ද පැමිණිලිකරු වෙත ඇත. එහිදී පැමිණිලිකරුට සිදු වූ අලාභය නිසි පරිදී තක්සේරු කර ඉදිරිපත් කිරීමට ද පැමිණිලිකරු කටයුතු කළ යුතුය. මෙහිදී බොහෝ විට විවාහ ජීවිතය කඩාකප්පල් කිරීමට හේතු ඇති කිරීම, එම නිසා පැමිණිලිකරුට ඇති වූ මානසික පීඩාව, පැමිණිලිකරුගේ පෞරුෂත්වයට, කීර්තියට සහ ආත්ම විශ්වාසයට හානි සිදුවීම යන කාරණා මත වන්දි ඉල්ලා සිටීමේ හැකියාව ඇත. මෙහිදී පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ සමාජ තත්වය ද සැලකිල්ලට ගනියි. එසේම නඩුව පවරා ඇත්තේ භාර්යාවට විරුද්ධව නම් භාර්යාවගෙන් තම පවුලට ලැබූ ආදායම් ද ගෘහණියක් වශයෙන් සිදු වූ සේවය ද සැලකිල්ලට ගත හැකිය.

ද්වේශ සහගත අතහැරයාම හෝ අනුමිත ද්වේශ සහගත අතහැරයාම

ද්වේශ සහගත අතහැරයාම යනුවෙන් අදහස් කරන්නේ එක් පාර්ශවයක් අනික් පාර්ශවය සමග ඇති විවාහ බන්ධනය අතහැර දැමීමේ චේතනාවෙන් වෙන්ව යාමය. මෙහිදී එක් පාර්ශවයක් විවාහක නිවසින් පිටව යාම සිදුවිය යුතුය. මෙම ක්‍රියාවලිය හෙවත් අත්හැරයාම ද්වේශයෙන්ම විය යුතු බවත් එය ඕනෑකමින් සහ තම හෘද සාක්ෂිය අනුවම සිදුවිය යුතු බවත් විවාහය අත්හැරීමේ අවසානාත්මක හා නියත අදහසක් එහි තිබිය යුතු බවත් මෙහි දී ඔප්පු විය යුතුය. එනම් ආපසු පැමිණීමේ අදහසක් නොමැතිවම හැරයාම සිදුවිය යුතුය. නමුත් සමහර අවස්ථාවල දී දෙපක්ෂය එකම නිවසක ජීවත්ව සිටියත් ද්වේශ සහගත අතහැරයාම සිදු විය හැකිය. එකම නිවසක් තුල වුවද දෙදෙනා කටයුතු කරන්නේ වෙන වෙනම නම්, එනම් ආහාර පාන සපයා ගැනීම, වෙනම කාමරවල ජීවත්වීම සිදුවන අවස්ථාවක එසේ වන්නේ නැවත එකම විවාහ නිවසක් සේ නොසැලකීමේ අදහසින් නම් එකම නිවසක් තුල දෙදෙනා වාසය කළ ද අත්හැර යාම යන කාරණාව ඔප්පු කළ හැකිය.

අනුමිත ද්වේශ සහගත අතහැරයාම යනුවෙන් අදහස් කරන්නේ එක් පාර්ශවයක ක්‍රියා කලාපය නිසා විවාහ නිවසේ රැදී සිටීමට නොහැකි තත්වයක් උද්ගතවීමෙන් විවාහ නිවස අත්හැරයාම සිදුවීමයි. මෙහිදී අනුමිත ද්වේශ සහගත අතහැරයාම සම්බන්ධයෙන් චූදිත වන්නේ නිවස අතහැර ගිය පාර්ශවය නොව නිවසේ රැදී සිටින පාර්ශවයයි. උදාහරණයක් වශයෙන් දක්වතොත් සැමියාගේ ද්වේශ සහගත හැසිරීම හේතුවෙන් වෛවාහික නිවසේ තවදුරටත් ජීවත්වීමට නොහැකි තත්වයක් සැමියා විසින් නිර්මාණය කිරීම නිසා බිරිද නිවසින් පිටවේ නම් එහිදී ද්වේශ සහගත අතහැරයාම සිදු කරන්නේ සැමියාය. බිරිද නිවසින් පිටවන්නේ පුරුෂයා හැරයාමේ චේතනාවෙන් නොවේ. ඇය පිටත්ව යන්නේ සැමියා විසින් ද්වේශ සහගතව සැලකීමේ තත්වය නිසා ය. එහිදී කෘරත්වය, නොසැලකීම, විවාහක නිවස ඉවසිය නොහැකි තත්වයකට පත් කිරීම, බිරිද වෙනුවෙන් සිදු කළ යුතු යුතුකම් ඉටු නොකිරීම සහ නඩත්තු කිරීම ප්‍රතික්ෂේප කිරීම යනාදී කරුණු මගින් නිවසේ රැදී සිටින තැනැත්තාගේ අතහැරයාමේ චේතනාව ඔප්පු කළ හැකිය. එය අනුමිත ද්වේශ සහගත අතහැරයාම වේ. මෙවැනි අවස්ථාවක දී සැමියාව විත්තිකරු කරමින් බිරිදට අනුමිත ද්වේශ සහගත අතහැර යාම යන කාරණය යටතේ දික්කසාදයක් ඉල්ලා සිටීමට හැකිය. එසේම විවාහ ගිවිස ගැනීමෙන් පසුව විවාහය පරිපූර්ණත්වයට පත් කිරීමට සැමියා විසින් ප්‍රතික්ෂේප කිරීම ද අනුමිත ද්වේශ සහගත අතහැරයාමක් සේ සැළකේ.

ලිංගික බෙලහීනතාවය

මෙයින් අදහස් කරන්නේ ලිංගික ක්‍රියාවලියේ යෙදීමට ඇති නොහැකියාවයි. ඒ යටතේ දික්කසාදයක් ලබා ගැනීමට නම් එම දුබලතාවය විවාහ වන අවස්ථාවේ දී පැවති බවට ඔප්පු කළ යුතුය. ඒ අනුව දෙදෙනාගෙන් කවර වූ හෝ අයෙකුට විවාහ වූ අවස්ථාවේ ලිංගික ක්‍රියාවලියේ යෙදීමට නොහැකියාවට පත්ව ඇත්නම් එය පූර්ණ බෙලහීනත්වයක් සේ සළකා විවාහය අවසන් කිරීමට නිමිත්තක් සේ ඉදිරිපත් කළ හැකිය. එසේම ලිංගික ක්‍රියාවේ යෙදීමට තැත් කිරීමේ අවස්ථා කීපයකට පසුවත් බිරිද කන්‍යාවක්ව සිටී නම් පුරුෂයාට විරුද්ධව බෙලහීනත්වය පිළිබද පුර්ව නිගමනයක් ඇති කර ගත හැකිය. ලිංගික බෙලහීනත්වය මත දික්කසාදය ඉල්ලා සිටීමේ දී ඉතාම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ විවාහ වන අවස්ථාවේ සිටම පවතින සුව කළ නොහැකි බෙලහීනත්වයක් ඇති බව ය.

මේ අනුව අපගේ දික්කසාද නීතිය යටතේ දික්කසාදය ලබා ගැනීමට නම් ඉහත කී කාරණා එකක් යටතේ නඩු පැවරීම ප්‍රමාණවත් ය. එසේ නමුත් නඩු පැවරූ පමණක් දික්කසාදය ලැබෙන්නේ නැත. ඉහත කී කාරණා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර පෙන්වීමට පැමිණිලිකාර පක්ෂයට සිදු වේ. නමුත් පැමිණිලේ ගෙනහැර දක්වන කරුණු සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර දී පැමිණිල්ල අභියෝගයට ලක් කිරීමට විත්තිකරු ක්‍රියා නොකර පැමිණිල්ලේ ඉල්ලීමට එකග වේ නම් කිසිදු විවාදයක් නොමැතිව දික්කසාදය ලබා ගැනීමේ හැකියාවක් පැමිණිලිකාර පක්ෂයට ඇත.

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search