අභ්‍යන්තර විනය පරික්ෂණය

අභ්‍යන්තර විනය පරික්ෂණය

විධිමත් අභ්‍යන්තර විනය පරික්ෂණයකට අදාල විධිවිධාන මොනවාද?
ආයතන වල, කාර්යාල වල හෝ වැඩබිම්වල සේවය කරද්දී සේවකයන් අතින් විවිධ ආකාරයේ වැරදි, අත්වැරදි සිදු විය හැකි අතර සමහර වැරදි හෝ අත්වැරදි හිතා මතාම චේතනාන්විතවම සිදු කළ ඒවා විය හැකිය. සමහර වැරදි චේතනාවකින් තොරව සිදු වූ අත්වැරදි විය හැකිය. කුමණ ආකාරයක අත්වැරද්දක් හෝ වරදක් වුවත් එය ආයතනයේ පැවැත්මට, පරිපාලනයට, ලාභයට බලපෑමක් විය හැකි තරමේ හානියක් විය හැකිය. සේවකයකු විසින් කිසියම් එවැනි විෂමාචාර ක්‍රියාවක් සිදු කර ඇතැයි සේවා යෝජකයාට පෙනී යන අවස්ථාවක ඒ පිළිබද ව විමර්ශනය කිරීමේ බලය ඕනෑම සේවා යෝජකයකුට ඇත. එවැනි විමර්ශනයක් හදුන්වන්නේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ලෙසයි. එවැනි අභ්‍යන්තර විනය පරීක්ෂණයක් කරන්නේ කෙසේද?

  1. සේවකයා විසින් සිදු කරනු ලැබ ඇතැයි කියනු ලබන විෂමාචාරය සදහන් කර ඒ පිළිබදව හේතු විමසීමේ ලිපියක් ස්වාමියා හෙවත් සේවා යෝජකයා විසින් සේවකයා වෙත යැවිය යුතුය.
  2. මෙම විෂමාචාරය ඉතාම බරපතල සිදු වීමක් නම් හෝ එම බරපතල ස්වභාවය නිසාම එම සේවකයා තවදුරටත් සේවයේ තබා ගනිමින් විනය පරික්සණ පැවැත්වීමෙන් ආයතනයට තවදුරටත් හානියක් සිදුවිය හැකි බව හෝ අභ්‍යන්තර විනය පරීක්ෂණයේ ක්‍රියාමාර්ගයන්ට බාධා ඇති විය හැකි බව පෙනී යන්නේ නම් එවැනි විටක තාවකාලිකව සේවකයාගේ වැඩ තහනම් කිරීමට ද සේවා යෝජකයාට බලය ඇත.
  3. සෑම හේතු විමසීමේ ලිපියකටම සේවකයා විසින් තම නිර්දෝෂීභාවයට හේතු හෙවත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අවශ්‍ය ය. එසේ කිරිමට සේවකයා අපොහොසත් වුවහොත් සේවකයාට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමට සේවා යෝජකයා විසින් පියවර ගනු ඇත.
  4. සේවකයා විසින් තම නිර්දෝෂිභාවය දක්වා පිළිතුරක් එවා ඇත්නම් එහිදී සේවා යෝජකයා ඒ පිළිතුර ගැන සෑහීමට පත් නොවේ නම් සේවකයාට විරුද්ධව චෝදනා පත්‍රයක් භාර දිය යුතුය.
  5. චෝදනා පත්‍රයට තමා නිවැරදි බව සේවකයා ප්‍රකාශ කරනු ලැබුවහොත් එම චෝදනා විභාග කිරීමට අපක්ෂපාතී පුද්ගලයකු පත් කළ යුතුය.
  6. මෙම පරික්ෂණයේ දී සේවකයා විසින් තමාටම කරුණු ඉදිරිපත් කළ හැකිය. එසේම ඔහුට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සදහා රැකවරණ නිලධාරී වශයෙන් එම සේවා ස්ථානයේ වෘත්තීය සමිති නිලධාරියකු හෝ එම සේවා ස්ථානයේ වෙනත් නිලධාරියකු හෝ වෙනත් බාහිර තැනැත්තෙකු හෝ පත් කර ගත හැකිය.
  7. සාක්ෂි විමසීමේ දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ද චෝදනාවට ලක් ව ඇති සේවකයාගේ සාක්ෂිකරුවන් ගේ ද මූලික සාක්ෂි ලබා ගැනීමෙන් පසුව හරස් ප්‍රශ්න කිරීමට ද නැවත ප්‍රශ්න කිරීමට ද භාජනය කළ හැකිය.
  8. සාක්ෂි සදහා වාචික සාක්ෂි මෙන්ම ලේඛණ ද ඉදිරිපත් කළ හැකිය.
  9. ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලේඛණ සළකා බලා පාරීක්සණ නිලධාරී විසින් චූදි සේවකයා චෝදනාවට වැරදිකරු ද නිවැරදිකරුද යන්න පිළිබද තීරණය හේතු සහිතව සේවා යෝජකයා වෙත ඉදිරිපත් කළ යුතුය.
  10. මෙම පරික්ෂණයේ දී සේවකයා වරදකරු වී ඇති බවට ඔප්පු කර ඇත්නම් ඊටසුදුසු දඩුවම් නිර්දේශ කිරීමේ බලය ද පරික්ෂකවරයාට ඇත.
  11. එසේම සේවා යෝජක විසින් වරදකරු වූ සේවකයාට සුදුසු දඩුවමක් පමුණුවන්නේ නම් එම දඩවම නියම කර ඊට විරුද්ධව හේතු ඇත්නම් දන්වන ලෙසද දැනුම් දිය හැකිය.