හෝටල් කාමර වටලා පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් තිබේද ?

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹීම සාමාන්‍ය කරුණකි. නමුත් බොහෝ දෙනා සිතන්නේ එය නීති විරෝධී කාර්යයක් බවත් තමන්ව පොලිසියට පවා හසුවීමට ඉඩ ඇති බවත් යනුවෙනි. නමුත් එය එසේ නොවේ. හෝටල් කාමර හෝ තානායම් කාමර හෝ වටලා කිසිදු පෙම් යුවලක් හෝ ලිංගික සුවය ලබා ගැනීමේ අරමුණින් ම පැමිණි කිසිදු යුවලක් හෝ ලිංගික සුවය ලබාදීම පිණිස පැමිණි කිසිදු කාන්තාවක් හෝ අත්අඩංගුවට ගැනීමට නීතියෙන් බලයක් කිසිවෙකුට ලබා දී නැත.

මේ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තීරණය කරන ලද හේවාගම් කෝරාලලාගේ මැක්සිමස් ඩැනී ගේ නඩුව ඓතිහාසික නඩුවක් විය. එම නඩුව මෙහි පහත විස්තර කරන්නේ මෙම කාරණයට අදාල නීති තත්වය එමගින් මනාව පැහැදිලි කර ඇති නිසාය.

මෙහි පෙත්සම්කරු වූ මැක්සිමස් ඩැනී යන අය වැන්දඹු කාන්තාවක් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබුණි. ඔවුන් එක්තරා දිනයක දන්කොටුවේ පිහිටි සිරිසෙවන තානායමේ කාමරයක රාත්‍රිය ගත කිරීමට තීරණය කර එහි නවාතැන් ගෙන තිබුණි. සන්සුන්ව හුදෙකලාව පෙම්සුව විදීමට ඔවුන්තුල තිබූ මහත් වූ අභිලාෂය එකෙනෙහිම සුන් වී ගියේ රාත්‍රි 10.30 ට පමණ පුද්ගලයන් සමූහයක් ඔවුන්ගේ තානායම් කාමරයට පැමිණ එහි දොරට තට්ටු කිරීම නිසාය. ඔවුන් එහි දොර අරින ලද විට දොර ඉදිරියේ සිටියේ පොලිස් නිලධාරීන් හය දෙනෙකි. ඉන් දෙදෙනෙකු නිල ඇදුමින් සිටි අතර අනිත් අය සිටියේ සිවිල් ඇදුමිනි. පෙත්සම්කරු ඔවුන් කවුදැයි විමසා සිටින විට තමන් හලාවත පොලිසියෙන් යැයි එම තැනැත්තන් විසින් ප්‍රකාශ කර ඇත. පොලිසිය විසින් එකෙනෙහිම මෙම පෙම් යුවල අත්අඩංගුවට ගෙන වෑන් රථයකට දමා මුලින්ම දංකොටුව පොලිසියටත් පසුව හලාවත පොලිසියටත් රැගෙන ගොස් තිබුණි. එම තානායමේ වෙනත් කාමර වල සිටි තවත් කාන්තාවන් පස් දෙනෙකු සහ පුරුෂයන් සිව් දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එම වෑන් රථයේම නංවා ගෙන ගොස් තිබුණි. පසුදින මෙසේ අත්අඩංගුවට පත් වූ තැනැත්තන්ව දහවල් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ට ඇප ලබාදීම ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව දින 7 ක කාලයකට පසුව මෙම නඩුවේ පෙත්සම්කරුට නිදහස් කර තිබුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබද නඩුවක් පවරන ලද අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමාව අත්අඩංගුවට ගැනීම ද එසේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම ද නීති  විරෝධී බවත් එමගින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් ඒ නිසා තමාට වන්දි අය කර දෙන ලෙසත් ය.

මෙහි දී චෝදනාව ලැබූ 1 වැනි පොලිස් නිලධාරියා (1 වැනි වගඋත්තරකරු) මෙම නඩුවේ දී කියා සිටියේ හලාවත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් ලද නියෝගයකට අනුව එදින රාති 8.30 ට පමණ  තමා ඇතුලු කණ්ඩායම මෙම තානායම වෙත ගියේ එහි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලැගුම් ගෙන සිටින බවට ලැබී තිබූ තොරතුරු නිසා බවයි.  තම කණ්ඩායම රාත්‍රි 10.45 ට පමණ මෙම තානායම වෙත ගිය බවත් එහි තිබූ කාමර හයේම පුද්ගලයන් ලැගුම්ගෙන සිටි බවත් තමන් විසින් එම කාමර වල සිටි පිරිමි අය සහ ගැහැණු අයව වෙන වෙනම කැදවා ප්‍රශ්න කරන ලද බවත් එසේ කලේ ඔවුන් ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා බවත් ප්‍රකාශ කර සිටියේය.  නමුත් ඔවුන් කිසිවෙකුට තම අනන්‍යතාවය තහවුරු කළ නොහැකි වූ හෙයින්  එවුන් සියළු දෙනාවම අත්අඩංගුවට ගැනීමට තමාට සිදු වූ බවටත් ඔහු කරුණු ඉදිරිපත් කර තිබුණි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ අයව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ගණිකා නිවාස අඥාපනත යන නීතිය යටතේ ගැනෙන අපරාධ  වැරදි සම්බන්ධයෙනි.

මෙහි දී මහේස්ත්‍රාත්වරයාද අවසනාවකට මෙන් වැඩිදුර විමසුමක් නොමැතිව පොලිසියේ ඉල්ලීම මත මෙම තැනැත්තන්ව රිමාන්ඩ් කර තිබුණි. ගණිකා නිවාස ආඥාපනත යටතේ ලිංගික හැසිරීම අපරාධ වරදක් සේ දක්වා නැත. මෙම ආඥා පනතේ දක්වා ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හෝ එසේ පවත්වාගෙන යාමට සහායවීම ද, කිසියම් ස්ථානයක් කුලියට හෝ බද්දට හෝ ලබා ගෙන ඇති තැනැත්තෙක් දැනුවත්වම එම ස්ථානය ගණිකා සේවයේ යොදවන් ලැබීමේ අරමුණ සදහා යොදා ගැනීමට ඉඩ දී ඇත්නම් එවැනි තැනැත්තෙක් මෙම ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවයි. ගණිකා නිවාසය යන්න කුමක් ද යන්න මෙම ආඥා පනතේ නිර්වචනය කර නැති නමුත් එයින් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ගණිකා වෘත්තිය සදහා යොදා ගන්නා ස්ථානයක් වශයෙනි. මෙම නීති මගින් කිසියම් තැනැත්තෙකුගේ අනියම් ලිංගික හැසිරීමක් දඩුවම් ලැබිය යුතු වරදක් සේ දක්වා නැත. නමුත් එය සිදු වන්නේ පොදු මහජන පැවැත්මට අගතියක් සිදුවන ආකාරයකට නම් හෝ පුද්ගල අයිතිවාසිකම් වලට හානියක් වන ආකරයට නම් හෝ නියමිත වයසට වඩා අඩු වයසේ තැනැත්තියක සමග වේ නම් එවැනි අවස්ථාවක සිදු කරන ලිංගික හැසිරීම වරදක් වේ. අඩු වයසේ කාන්තාවක් නොවේ නම් ලිංගික සංසර්ගයේ යෙදීම සදහා මුදල් දී කාන්තාවක් ලබා ගැනීම ද වරදක් නොවේ. මෙම ආඥා පනත අනුව වරදක් වන්නේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා ආදායමක් උපයා ගැනීමට කටයුතු කිරීමය. එම නිසා ගණිකා මඩම් පවත්වාගෙන යාම වරදක් වන නමුත් ගණිකා සේවයේ යෙදෙන කාන්තාව ද වරදක් කරන බව මෙම ආඥා පනත යටතේ දක්වා නැත. 

එම නිසා මෙම නඩුවේ ද පෙන්වා දුන්නේ මෙහි පෙත්සම්කාර තැනැත්තා ගණිකා මඩමක් පවත්වාගෙන යාම හෝ ඊට අනුබලයක් සහායක් දීම හෝ සිදු කර නොමැති බවත් ඔහු මෙකී තානායම් කාමරයේ කුලීකරුවක් පමණක් වූ බවත් ය. ඔහු එහි නවාතැන් ගෙන තිබීම මගින් කිසිදු අපරාධ වරදක් ද සිදු කර නැත.

එසේම මෙම නඩුවේ දී පොලිසි නිලධාරීන් ඉදිරිපත් කළ  ප්‍රධාන කරුණ වූයේ තමන් විසින් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇත්තැයි සොයා බැලීමට මෙම ස්ථානය වටලා පරික්ෂා කළ බවයි. නමුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ කාමරවල නවාතැන් ගෙන සිටි අය පමණි. තානායමේ කළමනාකරුවන් හෝ සහායකයන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කිරීම් වලට ලක් කර නැත. එම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී බවත් එමගින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එසේම පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන පසුදින දහවල් වන තුරුම අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම ද නීති විරෝධී රදවා ගැනීමක් බවට ද අධිකරණය තීරණය කළ අතර එයද පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව තීන්දු කළේය.

එසේම මෙම මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු වෙත රු. 25,000.00 ක වන්දියක් රජය විසින් ගෙවිය යුතු බවටත් මෙම අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරින් හය දෙනාම විසින් එක් අයෙකුට රුපියල් 5,000.00 බැගින් වන සේ රු. 30,000.00 ක වන්දි පුද්ගලිකව පෙත්සම්කරු වෙත ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පෙනී සිටියේය.

නමුත් දැන් මෙම ලිපිය කියවන පාඨකයාට ඇති විය හැකි ප්‍රශ්නයක් වන්නේ නීතිය එසේ නම් ගණිකාවන් අත්අඩංගුවට ගත් බවට නිරත්තර පුවත් වාර්තා පළවීම දැකිය හැක්කේ ඇයිද යන්නයි. ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ ගණිකා වෘත්තියේ නියැලීම නිසා නොව කිසියම් ස්ථානයක් ගණිකාවන් සේවයේ යෙදවීම සදහා යොදාගත් බවට ඇති සාක්ෂිය ඔවුන්වීම නිසාය. ගණිකා නිවාස ආඥා පනත මගින් දඩුවම් පමුණුවන්නේ ගණිකා නිවාස පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, ඒ සදහා සහායවීම යන කාරණා සම්බන්ධයෙනි. එම නිසා මුදල් ලබා දී හෝ ලිංගික සුවතාවය සදහා කාන්තාවක් සමග හෝටල් කාමරයක හෝ තානායම් කාමරයක ගත කිරීම කිසිසේත්ම නීති විරෝධි නොවන අතර ඒ පිළිබදව කිසිවකුට ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ නොහැකිය.

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search