තොරතුරු දැන ගැනීමට ඔබට ඇති අයිතිය මූලික අයිතිවාසිකමකි

තොරතුරු දැන ගැනීමේ අයිතිය ශ්‍රි ලාංකික පුරවැසියන් වෙත හිමි වූයේ ඉතා මෑතක දී හෙවත් 2016 වසරේ දීය. එම අයිතිවාසිකම ඔබ වෙත ලබා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරන ලද 19 වැනි සංශෝධනය මගිනි.

පුද්ගලයකුට තොරතුරු වැදගත් වන්නේ ඇයි? තොරතුරු යනු මොනවාද? පුද්ගලයකු තොරතුරු ඉල්ලන්නේ කාගෙන්ද? තොරතුරු ලබාදීමට බැදී සිටින්නේ කවුරුන්ද? මෙම අයිතිවාසිකම යටතේ ලබාගත හැකි තොරතුරු මොනවාද? ඒවායේ සීමාවන් මොනවාද? තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් පුරවැසියාට ගත හැකි පියවර මොනවාද? යන නිතැතින්ම පැන නැගෙන ගැටළු සදහා ඇති පිළිතුරු මෙම ලිපිය මගින් අපි පැහැදිලි කරමු.

තොරතුරු වැදගත් වන්නේ ඇයි? තොරතුරු අවශ්‍ය වන්නේ නිවැරදි සහ සාධාරණ තීරණ ගැනීමටයි. මෙම තීරණ නිවැරදිද, සාධාරණ ද, නීතියට අනුකූල ද යනාදී කාරණා දැන ගැනීමේ අයිතියක් අපි සැමට ඇත. එම තීරණ ගත්තේ රජයේ පොදු අධිකාරියක් විසින් නම් එම තීරණ පොදුවේ පුරවැසියන් වන අප සැමටත් පුද්ගලිකව අප එක් එක් තැනැත්තාටත් බලපෑමක් ඇති කරනු ලබන තීරණයක් වනු ඇත. එම නිසා එම තීරණ සාධාරණව, නීතියට අනුකූලව ගත්තා ද, ඒ අනුව ක්‍රියා කර ඇත්ද යන්න දැන ගැනීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සදහා ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක් වේ.

තොරතුරු යනු මොනවාද? තොරතුරු දැන ගැනීමට ඇති අයිතිවාසිකම යටතේ තොරතුරු යනු පොදු අධිකාරියක සන්තකයේ ඇති තොරතුරුය.

පොදු අධිකාරියක් කියන්නේ කුමක්ද? පොදු අධිකාරියක් යන්නට පහත සදහන් ආයතන අයත් වේ:

  1. ආණ්ඩුවේ අමාත්‍යාංශ
  2. සමාගම් පනත හැර යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද යම් මණ්ඩලයක් හෝ කාර්යාලයක්
  3. පළාත් සභාවක ප්‍රඥප්තියක් යටතේ පිහිටුවන ලද මණ්ඩලයක් හෝ කාර්යාලයක්
  4. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්
  5. රාජ්‍ය සංස්ථාවක්
  6. කිසියම් සමාගමක කොටස් වලින් සියයට 25 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජය සතුවන හෝ රජයේ සංස්ථාවක් සතුවන සමාගමක්
  7. පළාත් පාලන ආයතන
  8. ආණ්ඩුවේ හෝ එහි නියෝජිත ආයතනයක හෝ පලාත්පාලන ආයතනයක කොන්ත්‍රාත්තුවක්, හවුල් ව්‍යාපාරයක්, ගිවිසුමක් හෝ බලපත්‍රයක් යටතේ පොදු කටයුත්තක් කරන පුද්ගලික හිමිකාරිත්වයක් සහතික ආයතනයක් හෝ සංවිධානයක්
  9. පළාත් සභාවක් විසින් පිහිටුවන ලද යම් දෙපාර්තමේන්තුවක් හෝ අධිකාරියක් හෝ ආයතනයක්
  10. මහජනතාව වෙත සේවයක් ලබාදීම සදහා ආණ්ඩුව හෝ පළාත් සභාවක් හෝ දෙපාර්තමේන්තුවක් හෝ මගින් පිහිටුවන ලද අධිකාරියක්
  11. විදේශීය ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් මගින් සැළකිය යුතු ප්‍රමාණයක් අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධානයන්
  12. පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළුව උසස් අධ්‍යාපන ආයතන
  13. වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළුව පුද්ගලික අධ්‍යාපන ආයතන
  14. යුක්තිය පසිදලීම සදහා පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන

ඉහත ආයතන වර්ගීකරණ අනුව පෙනී යන්නේ මහජනතාවගේ ජීවිතයට සෘජුවම බලපෑමක් ඇති කරවනු ලබන කටයුතු කරන සියළු ආකාර වූ ආයතන මෙම නීතිය යටතට ඇතුලත් වන බවයි. කොටින්ම කියතොත් ග්‍රාමීය මට්ටමන් පිහිටුවා ඇති සාමාජිකයන්ගෙන් සංයුක්ත වන සමූපකාර සමිති සහ සණස සමිති ද මෙම පනත යටතේ වගකීමට බැදී ඇති බව සදහන් කළ යුතුයි.

එසේම මෙම තොරතුරු පනත සම්මතවීමත් සමග මීට අදාලව දැනට තිබෙන නීති, අණ පනත්, රෙගුලාසි සියල්ලටම ඉහලින් මෙම නීතිය ක්‍රියාත්මක වන බව සැළකිය යුතුයි.

තොරතුරු ඉල්ලන්නේ කාගෙන්ද?  මෙම නීතිය යටතේ ආවරණය වන ඉහත කී වර්ගීකරණයන්ට ඇතුලත් වන සෑම ආයතනයකම තොරතුරු නිලධාරියෙක් සිටිය යුතුයි. තොරතුරු නිලධාරියෙක් පත් කර නැත්නම් එම ආයතනයේ ප්‍රධානියා තොරතුරු නිලධාරියා සේ සැළකේ.  ඔබට අවශ්‍ය තොරතුරු එම නිලධාරියාගෙන් ඉල්ලා සිටිය යුතුය. තොරතුරු ඉල්ලන පුද්ගලයා එසේ තොරතරු ඉල්ලීමට හේතුව ඉදිරිපත් කිරීම අවශ්‍ය නැති බව ද සැළකිය යුතුය. තොරතුරු ලබාදීම සදහා එම ආයතනය විසින් කිසියම් ගාස්තුවක් අය කළ හැකිය. මෙම ගාස්තු බොහෝ විට සාධාරණ ලිපි ද්‍රව්‍ය ගාස්තු ලෙස සැළකිය හැකිය.

තොරතුරු ලබාදීමට බැදී සිටින්නේ කවුරුන්ද? ආයතනයේ තොරතුරු නිලධාරියා හෝ එම තනතුර දරණ කිසිවෙකු නැත්නම් ආයතන ප්‍රධානියා (ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකරු, සාමාන්‍යාධිකාරී වැනි තනතුරක් දරණ තැනැත්තන්) විසින් තොරතුරු ලබාදීමට බැදී සිටියි.

මෙම අයිතිවාසිකම යටතේ ලබාගත හැකි තොරතුරු මොනවාද? මෙහිදී තොරතුරු ලබා නොදෙන ක්ෂේත්‍ර කීපයක් ඇති බව සැළකිය යුතුය. එම ක්ෂේත්‍රවලට ඇතුලත් නොවන ඕනෑම තොරතුරක් ලබා ගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම ඇත.

තොරතුරු ලබා නොදෙන ක්ෂේත්‍ර හෙවත් තොරතුරුවල සීමාවන් මොනවාද?

  1. පුද්ගලික කරුණු වලට අදාල තොරතුරු: මෙම තොරතුරු ලබාදීම පහත හේතුමත ප්‍රතික්ෂේප කළ හැකිය:

(අ)       තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක් නොවන බව පෙනී යන අවස්ථාවක

(ආ)      පුද්ගලයකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය කිරීමක් සිදුවන විට

එසේ වුවත් එම පුද්ගලික තොරතුරු යම් පොදු කටයුත්තක් හා සම්බන්ධව පවතී නම් හෝ එම තොරතුරු හෙළිදරව් කිරීම විශාල මහජන සම්බන්ධතාවයක් විසින් සාධාරණීකරණය කරයි නම් එම තොරතුරු ලබා ගත හැකි වේ.

  1. තොරතුරු ලබාදීම රාජ්‍ය ආරක්ෂාවට හෝ රටේ භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස හානිකර වන අවස්ථාවක (උදා: රට තුළ යුධ හුමුදා ආයුධ ගබඩා කොපමණ ඇත්ද යන තොරතුර ලබා ගත නොහැකි තොරතුරකි)
  2. ඉල්ලා සිටින තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ ගිවිසුමක් යටතේ රහසිගතව පවතින තොරතුරක් වන විට එවැනි තොරතුරක් ද ලබා ගත නොහැකිය.
  3. ඉල්ලා සිටින තොරතුරු ලබාදීම මගින් ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවේ ඇති බැදීම් වලට අගතියක් විය හැකි නම්
  4. තොරතුරු හෙළිදරව් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක් විය හැකි අවස්තාවක එවැනි තොරතුරු ලබාදීම ද ප්‍රතික්ෂේප කළ හැකිය.

ඒ අනුව ඉහත දක්වා ඇති තොරතුරු හැර ඕනෑම තොරතුරක් ලබා ගැනීමේ අයිතිවාසිකම සෑම තැනැත්තෙකටම තමන්ගේ මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන ඇත.

තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් පුරවැසියාට ගත හැකි පියවර මොනවාද? තොරතුරු නිලධාරියකු විසින් තොරතුරු ලබාගැනීම සදහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවක එම නිලධාරියා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු දැනුම් දිය යුතුය. එම ප්‍රතික්ෂේප කිරීම එරෙහිව අභියාචනා කළ හැකි කාල සීමාව ද දැක්විය යුතුය. එසේම එම අභියාචනය යොමු කළ යුත්තේ කවර තැනැත්තෙකු වෙත ද යන්න ද සදහන් කළ යුතුය.

මෙම ප්‍රතික්ෂේප කිරීම යන්න පැහැදිලි කරමින් ඉතා වැදගත් විධිවිධාන මෙම පනත යටතේ දක්වා ඇත.

එනම්, තොරතුරු ප්‍රතික්ෂේප කිරීම පහත දැක්වෙන කවර හෝ ආකාරයකට සිදුවුවහොත් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ සේ සළකා අභියාචනා කිරීමට තොරතුරු ඉල්ලා සිටින පුරවැසියාට අයිතිය ඇත:

අ.         තොරතුරු ඉල්ලා සිටීම සදහා කරන ලද ඉල්ලීමක් භාර ගැනීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම

ආ.        තොරතුරු ලබා නොදෙන ඉහත දක්වා ඇති ක්ෂේත්‍රවලට අදාලව තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශවීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම

ඇ.        සම්පූර්ණ නොවූ නොමග යනව හෝ සාවද්‍ය තොරතුරු ලබාදීම

ඈ.        අසාධාරණ, වැඩිපුර ගාස්තු අය කිරීම

ඉ.         ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් හෝ ඉල්ලා සිටිනු ලබන ආකාරයට තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම

ඊ.         ඉල්ලා සිටින ලද තොරතුරු එම පුරවැසියා වෙත හිමිකර දීම වැළැක්වීම සදහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට එම තොරතුරු ඉල්ලා සිටින පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

ඒ අනුව ඉහත කි ඕනෑම තත්වයන් යටතේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද නිලධාරියාට එරෙහිව තම මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට පුරවැසියාට අයිතිය ඇත.

  • ඒ අනුව තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හොත් එම ප්‍රතික්ෂේප කළ මොහොතේ සිට දින 14 ක් ඇතුලත අදාල ආයතනයේ නම් කළ නිලධාරියා වෙත අභියාචනා කළ හැකිය.
  • අභියාචනය කළ දින සිට දින 3 ක් ඇතුළත එම අභියාචනය භාරගත් බවට කුවිතාන්සියක් එම අභියාචනය භාර ගත් නිලධාරියා විසින් නිකුත් කළ යුතුය.
  • ඉන් පසුව අභියාචනය ගැන විමර්ශනය කිරීමට එම ආයතනය විසින් නම් කරන ලද නිලධාරියා විසින් විමර්ශනයක් පවත්වා ඒ ගැන සවිස්තරාත්මක පිළිතුරක් අභියාචක පුරවැසියා වෙත ලබාදිය යුතුය.
  • එම පිළිතුරෙන් ද පුරවැසියා සෑහීමට පත් නොවන්නේ නම් එම පුරවැසියාට තොරතුරු කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ හැකිය. එම පැමිණිල්ල මාස 2 ක් තුළ කළ යුතුය.
  • කොමිසමේ තීන්දුව සම්බන්ධයෙන් ද පුරවැසියා සෑහීමට පත් නොවන්නේ නම් අභියාචනාධිකරණය වෙත අභියාචනා කළ හැකිය.

තොරතුරු නිලධාරියා විෂමාචාර ක්‍රියාවක් නැතහොත් විනය විරෝධී ක්‍රියාවක නිරත වී ඇති බවහෙළිදරව් වුවහොත් ඇති වන නීතිමය ප්‍රතිවිපාක මොනවාද?

මෙම විෂමාචාර ක්‍රියා මොනවාද යන්න පනතේ දක්වා ඇත. ඒ අනුව,

  1. පුරවැසියාට තොරතුරු ලබාදිමේ දී වැරදි ආකාරයට කටයුතු රන හෙවත් හිතාමතා තොරතුරු ලබාදීම අවහිර කරන්නේ නම්,
  2. වැරදි සහ අසම්පූර්ණ තොරතුරු සපයන්නේ නම්,
  3. තොරතුරු විනාශ කරන, අවලංගු කරණ, වෙනස් කරන හෝ පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස වසන් කරනු ලබන්නේ නම්,
  4. කොමිෂන් සභාවේ නියමයන්ට අනුව කොමිෂන් සභාව වෙත සාවද්‍ය තොරතුරු සපයන්නේ නම්,
  5. කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරින්නේ නම්,
  6. කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු වලට අවහිර කරන්නේ නම්,
  7. හෙළිදරව් නොකල යුතු තොරතුරු හෙළිකරව් කර ඇත්නම්

එවැනි නිලධාරියකු විෂමාචාර ක්‍රියාවක නිරත වී ඇති සේ සැළකේ.

විෂමාචාරයට දඩුවම්: විෂමාචාරය ගැන වරදක් කර ඇති බව ප්‍රකාශ කොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවක විභාගයකින් පසුව වරදකරු වන තැනැත්තකුට රු. 50,000.00 ක දඩයක් හෝ අවුරුදු දෙකක කාලයක බන්ධනාගාර ගත කිරීමක් හෝ මේ දඩුවම් දෙකම හෝ ලබාදිය හැකිය.

පසු සටහන: ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ලෝකයේ ඇති තොරතුරු දැන ගැනීම පිළිබද ඇති හොදම පනත් අතරින් 3 වැනි හොදම පනත ලෙසත් දකුණු ආසියාවේ ඇති හොදම පනත ලෙසත් සැළකේ.

තොරතුරු දැන ගන්න, ඔබේ අයිතිවාසිකම් රැකගන්න. තොරතුරු දැන ගැනිමේ පනත පුරවැසියා බලසම්පන්න කිරීම සදහා ඇති හොදම අවියක් සේ සැළකා මෙම පනත අනුව නීතිය බලගන්වන්න අපි ඔබට ශක්තිය වෙමු.

Image
women & child abuse law

ගෘහ ප්‍රචන්ඩත්වය යන්න පවුල් ඒකක තුළ සිදුවන ප්‍රචන්ඩකාරී හැසිර

women & child abuse law

මෙය ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ වරද යනුවෙන් අපගේ අ

women & child abuse law

බරපතල ලිංගික අපයෝජනය යන්න අපගේ අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය ය

women & child abuse law

ලිංගික හැසිරීමට ස්ත්‍රීය කැමැත්ත දුන්නා ය යන්න දූෂණ චෝදනාලත් බ

women & child abuse law

ලිංගික හැසිරීමක් ස්ත්‍රී දූෂණයක් ලෙස අර්ථ දැක් වූ විට එය අපරාධ වරදක් වේ. 

Human Rights

පෙම්වතුන් තානායම් කාමර හෝ හෝටල් කාමර වෙත ගොස් රිසි සේ පෙම්සුව විදීමට පෙළඹ

අපගේ වෘත්තීමය සේවාවන්

ඉඩම් නිරවුල්භාවය පරික්ෂා කිරීම

Elawyer.lk © 2018 Designed By Vishmitha.com

Search