නිරෝධායනයට අදාල නීතිය

නිරෝධායනයට අදාල නීතිය

කොරෝනා වෛරසය තුරන් කිරීමට රජයට සහාය නොදෙන ඔබ අපරාධකරුවෙකි.

ඉතා රහසිගතව නමුත් සිඝ්‍රයෙන් පැතිර යන කොරෝනා කොවිඩ්-19 වෛරසය දැන් ශ්‍රී ලංකාවට ද ඇතුළු වී අවසාන ය. වෛරසය ආසාදනය වූ හෝ ආසාදනය වී ඇති බවට සැක සහිත සියලු තැනැත්තන් ද වෛරසය පැතිර ගොස් ඇති විදේශ රටවල සිට මෙරටට පැමිණ සිටින සියලු තැනැත්තන් ද නිරෝධායනයට ලක්විය යුතු බවට රජය විසින් දැනුම්දී ඇත. මෙම අර්බුදය ලොවටම දරුණු ලෙස බලපා ඇති නව අත්දැකීමක්වීම මත නිරෝධායනයේ වැදගත්කම තේරුම් ගැනීම සහ වෛරසයේ බලපෑම පිළිබද අනතුර පූර්වේක්ෂණය කිරීම අතිබහුතරයකට දුෂ්කර වී ඇත.

නිරෝධායනය යනු පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයකි. මෙහිදී මෙම වෛරසයට නිරාවරණය වූ හෝ සැකසහිත පුද්ගලයන් ස්ථිරවම හදුනාගැනීම, ප්‍රතිකාර ලබාදීම සහ සාමාන්‍ය තත්වයට පත් කිරීම මෙම නිරෝධායන වැඩ පිළිවෙල මගින් අපේක්ෂිතය.

රටතුල වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සදහා නිරෝධායන වැඩ පිළිවෙලට අනුගතවීම සෑම පුරවැසියකුගේම මෙන්ම මෙරට රැදී සිටින විදේශිකයන්ගේ ද යුතුකමක් සහ වගකීමක් වේ. එසේ නමුත් මෙම නිරෝධායන වැඩ පිළිවෙලට අනුගත නොවී සිටින තැනැත්තන් මෙරට නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක් කරන බව දැන ගත යුතුය.

මෙම නිරෝධායනය සම්බන්ධව මෙරට බලපවත්නා නීතිය 1897 වසරේ දී මුලින්ම හදුන්වා දී තිබේ. මෙම නීතිය පසුකාලීනව වරින්වර සංශෝධනය වී ඇත.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත මගින් දිවයින තුළ රෝගයක් පැතිරීම වැළැක්වීම සදහා නිරෝධායන හෝ වෙනත් ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම සදහා මෙන්ම රෝග පාලනය සදහා සහාය නොදෙන තැනැත්තන්ට එරෙහිව කටයුතු කිරීම සදහා විධිවිධාන යොදා ඇත.

මෙම පනත යටතේ විෂය භාර ඇමතිවරයාට - එනම් සෞඛ්‍ය ඇමතිවරයාට - නිරෝධායනය සහ රෝග වැළැක්වීම සම්බන්ධයෙන් පවත්නා විවිධ බලතල නියෝග ලෙස ගැසට් පත්‍රයේ පළ කර ක්‍රියාත්මක කළ හැකිය.

ඒ් අනුව පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීම, රෝගී තැනැත්තන් රදවා තබා ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීම, පවිත්‍රකරණයට යොමු කිරීම, නිරන්තර පරික්ෂාවට ලක් කිරීම, විවිධ ස්ථාන වසා දැමීම, භාණ්ඩ භාවිතය නැවැත්වීම සහ විනාශ කිරීම ආදී පූර්ව සහ පසු ආරක්ෂණ ක්‍රමවේද මේ යටතේ හදුනාගෙන ක්‍රියාත්මක කළ හැකිය.

මෙම ක්‍රියාවලියට සහාය නොදීම දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

ඒ අනුව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ, කිසියම් තැනැත්තෙකු මෙම පනත යටතේ පැනවෙන යම් නොකිරීම, උල්ලංඝණය කිරීම හා පනතේ නියමයන් ක්‍රියාත්මක කරන පොලිස් නිළධාරීන්ට සහාය නොදීම සහ බාධා කිරීම වැරදි ක්‍රියා වේ.

මෙම පනතේ නියමයන් යටතේ ඒවැනි වරදකට වරදකරුවකු වන අයකුට මාස 06 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකින් හෝ උපරිම රු. 10,000.00 ක් දක්වා වන දඩයක් හෝ එම දඩුවම් දෙකටම හෝ යටත් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයකුට ඇත.

එසේම මෙවැනි වරදක් කරන තැනැත්තෙකුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට ඇති බව සැළකිය යුතුය.

එසේම මෙම පනතේ ප්‍රතිපාදන මත වැරදිකරුවකු වන රෝග ආසාධිත පුද්ගලයක් මෙන්ම ඔහුගේ භාරකරු වශයෙන් ක්‍රියාකරන්නෙකු ද අධිකරණය ඉදිරියේ නිවැරදිකරුවකු ලෙස ඔප්පු කරන තුරු වරදකරුවකු ලෙස පූර්ව නිගමනය කරනු ඇත.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ අපරාධමය වැරදි සහ දඩුවම් පිළිබදව නෛතික ප්‍රතිපාදන දැක්වෙන දණ්ඩ නීති සංග්‍රහයේ පෙන්වා දෙන්නේ ජීවිත අවධානමක් සහිත රෝගයක් පැතිරවීම සම්බන්ධයෙන් තමා විසින් දැන සිටිය දී නොසැලකිලිමත් හා නීති විරෝධී ලෙස එම රෝගය පැතිරවීමට ක්‍රියාකරයි නම් මාස 06 දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකටම යටත් වීමට සිදුවිය හැකි බවයි.

තවද එකී හැසිරීම හෝ ක්‍රියාව එවැනි තැනැත්තෙකු විසින් ද්වේශ සහගත අයුරින් සිදු කරයි නම් වසර 02 ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකට හෝ එවැනි දඩුවම් දෙකටම හෝ යටත් වීමට සිදුවිය හැකිය.

කෙසේ වූවත්, දඩුවම තීරණය වන්නේ, අදාල තැනැත්තාට එරෙහිව නඩු පවරා ඇත්තේ කවර නීතිමය ප්‍රතිපාදනයක් යටතේ ද යන්න මත ය. නඩුව පවරා ඇත්තේ නිරෝධායන ආඥා පනත යටතේ ද නැතහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඇති වරද සම්බන්ධයෙන් ද යන්න මත දඩුවම තීරණය විය හැකි නමුත් වර්තමාන අර්බුදයේ බරපතල ස්වභාවය අනුව අවුරුදු දෙකක කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට ඉඩ සළසන දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරනු ලැබීමට බෙහෝ විට ඉඩ ඇති බවට අනුමාන කළ හැකිය.

එබවින් නිරෝධායන නියමයන් කඩ කරන ඔබ සමාජයීය මෙන්ම නීතිමය වශයෙන් ද අපරාධකරුවකු විය හැකි බව සිහි තබා ගත යුතු අතර මෙම අවධානම් සහගත අවස්ථාවේ සියළු දෙනාගේ යහපත පිණිස රාජ්‍ය සෞඛ්‍ය අංශ වෙත සිය සහයෝගය නොපිරිහෙලා ලබාදීමට ඔබ කටයුතු කළ යුතුව ඇත.

අදාල අණ පනත්:

  1. 1897 අංක 3 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත (1917 අංක 7 සිට 2005 අංක 12 දක්වා වූ පනත් මගින් වරින් වර සංශෝධිතයි)
  2. 1883 අංක 2 දරණ දණ්ඩ නීති සංග්‍රහය (1887 අංක 11 සිට 2018 අංක 10 දක්වා වූ අණ පනත් මගින් සංශෝධිතයි)

-නීතිඥ පැතුම් ජයසිංහ-