කොවිඩ්-19: ලොක්ඩවුන් නිසා ව්‍යාපාරික බදු කුලී ගෙවිය යුතුද?

කොවිඩ්-19: ලොක්ඩවුන් නිසා ව්‍යාපාරික බදු කුලී ගෙවිය යුතුද?

කොවිඩ්-19 වෛරස් වංසගතය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගැනීම් සමගම මාර්තු 20 දින සවස 6.00 සිට රට ලොක්ඩවුන් කර, රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කරමින් වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් රජය විසින් කඩිනම් කරන ලදී. මෙයින් සෘජුවම බලපෑමට ලක්ව ඇත්තේ රටේ ආර්ථික කටයුතු ය. මෙම ආර්ථික කටයුතු වල යෙදෙන අතිවිශාල සංඛ්‍යාවක් (නිෂ්පාදන කටයුතු මෙන්ම සේවා සැපයීමේ කටයුතුවල යෙදෙන) විසින් මුහුණ දී ඇති උභතෝකෝටික ගැටළුවක් වන්නේ තමන් විසින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සදහා බදු පදනම මත ලබාගෙන ඇති බදු දේපල සදහා බදු කුලිය ගෙවීම පිළිබද ගැටළුවයි. ආණ්ඩුවේ නියමයක් මත සියළු ආර්ථික සහ සමාජ කටයුතු අත්හිටුවා ඇති අවස්ථාවක අත්‍යාවශ්‍ය නොවන්නා වූ කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට ව්‍යාපාරිකයන්ට නොහැක. ඇදිරි නීතිය අඛණ්ඩව පැවතීම තුළ කිසිදු ආකාරයකින් ව්‍යාපාරික ස්ථාන විවෘත කිරිමේ අවස්ථාවක් ව්‍යාපාරිකයන්ට නැත. එසේ වූවත්, ව්‍යාපාරික ස්ථාන බදු දී ඇති දේපල හිමිකරුවන් විසින් බදුකරුවන්ගෙන් බදුකුලී ඉල්ලා සිටිමින් අසරණභාවයට පත්ව ඇති ව්‍යාපාරිකයන් තවදුරටත් අසරණභාවයට පත්කරමින් සිටින බව දැන ගැනීමට ඇත. ව්‍යාපාරය වසා දමා තිබුනත් මාසික බදු කුලිය ගෙවිය යුතු බවටත්, කුලි නොගෙවන්නේ නම් කුලී දේපල වහා භාර දිය යුතු බවටත් සමහර කුලී හිමියෝ තර්ජනය කරමින් සිටින බවටත් තොරතුරු පවතී. තවත් තැනක බදුහිමියකු විසින් පවසා ඇත්තේ කුලී නොගෙව්වහොත් තමා විසින් රදවා ගෙන ඇති අත්තිකාරම් මුදලින් හිග කුලී අය කර ගන්නා බවයි. මෙවැනි තර්ජන හමුවේ අසරණ භාවයට විශේෂයෙන්ම පත්ව සිටින්නේ සුළු ව්‍යාපාරිකයෝ සහ සේවා සපයන්නෝ ය. සමහර ව්‍යාපාර කරන තැනැත්තන් සිය මාසික බදු කුලිය පවා ගෙවා ගනු ලබන්නේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ ය.

ව්‍යාපාරික ස්ථාන සදහා ඉදි කර ඇති දේපලක වෙළදපල වටිනාකමක් පවතින්නේ එම ස්ථානය ආශ්‍රිතව වෙළදපොලක් පවතින්නේ නම් පමණය. වෙළදපොලක් පැවතීමට නම් භාණ්ඩ හෝ සේවා සදහා ඉල්ලුම්කරුවන් සිටිය යුතුය. ඉල්ලුම්කරුවන්ගේ පැමිණීම රටේ බලපවත්නා සුවිශේෂිත වූ නීතියක් මගින් වළක්වා ඇත්නම් එම නීතියට බදුහිමියා මෙන්ම බදුකරුවා ද යටත් ය. ඒවැනි තත්වයක් යටතේ බදුකරුගෙන් බදුකුලිය ඉල්ලා සිටීම කොතරම් සාධාරණද? මෙම සුළු ව්‍යාපාරිකයා සහ සේවා සපයන්නාගේ එකම ආදායම අහිමි වී තිබෙන අවස්ථාවක බදුකුලී ගෙවීමෙන් නිදහස් කිරීම සදහා කවර පියවරක් ආණ්ඩුවට ගත හැකිද?

එසේම මෙහි ඇති උභතෝකෝටිකය වන්නේ බදුකුලී ගෙවීමෙන් බදුකරුවන් නිදහස් කරනු ලැබුවහොත් සමහර බදුහිමියන් ද පත්වන අසරණභාවයයි. සමහර බදුහිමියන්ගේ පවුලේ එකම ආදායම ද බදුකුලී ආදායම ය. සමහර නිවාස හිමියෝ තම නිවසේ කොටසක් වෙන් කර ව්‍යාපාරික කටයුතු සදහා බදු දි ආදායමක් ලබති. එය එම පවුලේ එකම යැපුම් ආදායම විය හැකිය. ආර්ථිකය වසා දමා ඇති කාලයට බදු කුලී අය කිරීම අත්හිටවිය යුතු බවට නියමයක් කරනු ලැබුවහොත් බදු ආදායම තම එකම යැපුම් ආදායම කරගත් පවුල ද දැඩි අසරණභාවයට පත්වනු ඇත.

මේ වන විට වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් විසින් තම ගණුදෙනුකරුවන් සදහා විවිධ වූ සහන සලසාදීමට පියවර ගෙන ඇති තත්වයක් තුල මෙම බදුකුලී ගෙවීම සහ අයකිරීම පිළිබද උභතෝකෝටිකය කෙරෙහී බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතා හදිසි අත්‍යාවශ්‍යක කරුණක් බව අපගේ අදහසයි. මෙහිදි රජයට කළ හැකි එක් පිළියමක් වන්නේ බදුකුලිය අය කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කර බදුහිමියාගේ අහිමිවන බදුකුලී ආදායම වෙනුවෙන් රක්ෂණ වන්දි මුදලක් ලබාදීම ය. 2016 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ කැළණිගග පිටාර ගලා දැඩි ස්වභාවික ආපදාවක් සිදු කිරීමෙන් පසුව හානියට පත් දේපල වෙනුවෙන් රජය විසින් රක්ෂණ වන්දි ප්‍රදානය කරන ලද බවත් එම වැඩ පිළිවෙලම බදුහිමියන් වෙනුවෙන් ද ක්‍රියාත්මක කළ හැකි බවත් අපගේ අදහසයි.