කොවිඩ්-19 ලොක්ඩවුන් ගැටළු: වැටුප් කප්පාදු කිරීම, රැකියා අහිමිවීමේ අවධානම සහ සේවක පලිගැනීම

කොවිඩ්-19 ලොක්ඩවුන් ගැටළු: වැටුප් කප්පාදු කිරීම, රැකියා අහිමිවීමේ අවධානම සහ සේවක පලිගැනීම

ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථික කටයුතු වසා දැමීම නිසා සේවක වැටුප් කප්පාදුවට ලක්වීමේ සහ රැකියා අහිමිවීමේ අවධානම ඉහල ගොස් ඇති බව පෙනී යයි. මෙම තත්වය බලපා ඇත්තේ පුද්ගලික අංශයේ රැකියා නියුතු වූවන් ට සහ ස්වයං රැකියාවන් හී නිරත වූවන්ටත් ය. රාජ්‍ය අංශයේ සේවකයෝ වාසනාවට මේ ගැටළුවට මුහුණ දී නැත. කවර තත්වයන් යටතේ වුවද ඔවුන් ආරක්ෂා වී සිටින්නේ රජයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබදව ආණ්ඩුව වගකීම දරන නිසා ය.නමුත් අනිකුත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සුරැකෙන්නේ පුද්ගලික ව්‍යවසායකයාගේ ලාභ සුරක්ෂිතභාවය අනුව ය.

නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා වල සේවකයන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකට රැකියා අහිමිවීමේ අවධානමක් ඇති බව කර්මාන්ත ශාලා හිමියන් ගේ නියෝජිතයන් පිරිසක් විසින් කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පවසා ඇති බව පසුගියදා පුවත්පත් වාර්තා වල පල වී තිබුණි.

නිදහස් වෙළද කලාපයෙන් පිටත ඇති ව්‍යාපාරික ස්ථානවල සේවකයන්ගේ තත්වය ද බොහෝ දුරට එසේ විය හැකිය. සමහර ව්‍යාපාරික ආයතන දැනටමත් වැටුප් කප්පාදු කිරීමක් සිදු කර ඇත. එහෙත් බොහෝ විධිමත් සහ වෘත්තීමය පරිපාලනයක් සහිතව ක්‍රියාත්මක වන මෙරට බොහෝ පුද්ගලික ආයතන විසින් සේවක වැටුප් කප්පාදුව සිදු වන්නේ කෙසේද යන්න පිළිබදව තම සේවකයන් වෙත කල් ඇතිව දැනුම් දී ඇත. එනම් වැටප් අඩු කිරීම් පිළිබද තීරණය ක්‍රියාත්මක කර ඇත්තේ සේවකයන්ගේ අනුදැනුම සහිතව ය. නමුත් තවත් සමහර ආයතන, සමාගම්, සහ යම් යම් සමූපකාර සමිති වැනි සංවිධාන විසින් සේවකයන්ට කිසිදු දැනුම්දීමකින් තොරවම වැටුප් කප්පාදු කිරීම හෝ වැටුප්දීම පැහැර හැරීම හෝ සිදු කර ඇති බවට ද තොරතුරු ඇත.

තවත් සමහර ආයතන ප්‍රධානීන් තමන්ට අවනත නොවන සේවකයන්ගෙන් පලි ගැනීම සදහා ද රටේ පවතින තත්වය අගනා ලෙස යොදා ගෙන ඇති බවට ද තොරතුරු ඇත. ගැටළුව වන්නේ කොරෝනා වසංගත තත්වය යටතේ කම්කරු අයිතිවාසිකම් සහ සේවක වරප්‍රසාද පිළිබදව බලපවත්නා නීති ක්‍රියාත්මක කරවන්නේ කෙසේද? යන්නය. මේ පිළිබදව කම්කරු අමාත්‍යවරයා හෝ කම්කරු අමාත්‍යාංශය විසින් නිසි විධිවිධාන සකසන්නේ ද? සමූපකාර සේවකයන්ගේ රැකියා සහ වැටුප් සුරක්ෂිතභාවය සදහා සමූපකාර සේවක කොමිෂන් සභාව මැදිහත් වන්නේද?

ස්වෙච්ඡා සංවිධානවල සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සදහා සමාජ සුභ සාධන අමාත්‍යංශය මැදිහත් වන්නේ ද? රටේ අඩාල වෙමින් පවතින එක් එක් අංශයන් පුනර්ජීවනය කිරීම සදහා විවිධ කාර්ය සාධන බලඇණි පිහිටුවමින් පවතින තත්වයක් තුල, රටේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කර දීම සදහා ක්‍රියා මාර්ග නිර්දේශ කිරීම පිණිස ද කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීම වහා කළ යුතුව ඇත.

පවතින තත්වය යටතේ ආයතනයක් පවත්වාගෙන යා නොහැකිව වසා දමීමට තීරණය කරන්නේ නම් ආයතනයක් වසාදැමීමට අදාලව අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග යටතේ එය සිදුවන්නේ ද? එසේත් නැත්නම් කිසියම් සේවකයන් පිරිසකගේ සේවය අවසන් කිරීමට ආයතන බලධාරීන් කටයුතු කරන්නේ නම් එය කරන්නේ සේවය අවසන් කිරීමේ පනතට අනුකූළව ද, වැටුප් කප්පාදු කරන්නේ නම් එය කරන්නේ කවර වූ පදනමක් යටතේ ද? යන කාරණා පිළිබදව දැන ගැනීමට සෑම සේවකයකුටම අයිතිය ඇත.

ඔබේ රැකියාව සුරක්ෂිතද? ඔබේ ගැටළුව අප වෙත යොමු කරන්න. මේ පිළිබද වහා සංවාදයක් ආරම්භ කළ යුතුව ඇත.