ලීසිං සමාගම්වල නීති විරෝධී වැඩට එරෙහි ජනපති නියෝගය සහ ලීසිං මගඩි

ලීසිං සමාගම්වල නීති විරෝධී වැඩට එරෙහි ජනපති නියෝගය සහ ලීසිං මගඩි

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත්ම ඊට ඉඩ නොතබන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර ඇති බව 202-06-12 වැනි දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇති පරිදී ලීසිං සමාගම් වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කරන්නේ නැත. ඔවුන් පොලිසියට පැමිණිලි කරන්නේ වාහනය අත්පත් කර ගැනීමෙන් පසුවය. බලහත්කාරී ලෙස කරන මෙවැනි පැහැර ගැනීම් ඇතැම්විට බරපතල ප්‍රචන්ඩත්වයට මුල් වී තිබේ. ජනාධිපතිවරයාගේ නියෝගය සහිත නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ කොව්ඩ්-19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම් වලට රජය ප්‍රදානය කළ සහන යටතේ ත්‍රීවීල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අය කර ගැනීම මාස හයකට අත්හිටවනු ලැබූ බවයි. මාර්තු මස 23 වැනි දින නිකුත් කරන ලද අංක 16/2020 චක්‍රලේඛයේ එම නියමය සදහන් කර ඇති බව ද එම නිවේදනයේ දක්වා ඇත. නමුත් මේ නියෝගයන් අදාල වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි වී ඇති මූල්‍ය සමාගම් වලට පමණද? ත්‍රී රෝද රථ සංගමයේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් හෙළිදරව් වන වාර්තාවල සදහන් වන පරිදී එම සිද්ධියට අදාල ලීසිං සමාගම මහ බැංකුවේ ලියා පදිංචි සමාගමක් නොවේ. එම හේතුව නිසාම, රජයේ නීති තමන්ට අදාල නොවන බව එම සමාගමේ නිලධාරීන් ද ප්‍රකාශ කර ඇති බවට ද පුවත්පත් වල වාර්තා වී තිබුණි. මහ බැංකුවේ ලියා පදිංචි නොවී ලීසිං නැත්නම් කල්බදු සමාගමක් ක්‍රියාත්මක වේ නම එට නීති විරෝධී ය. එවැනි සමාගමකට තම ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙළද බලපත්‍රය නැත. එසේ නම් කල්බදු ගිවිසුම් ද නීති විරෝධී ය. ගිවිසුම් වලට එළඹ ඇත්තේ බලයක් රහිතව ය. නමුත් ඔවුන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ නිසි බලයක් ඇති බවට මහජනයාට ඒත්තු ගන්වමිනි.

කල්බදු මූල්‍ය සමාගම් කරන තවත් මගඩියක් ගැන නීතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා සිය ෆේස්බුක් ගිණුමේ හොද පැහැදිලි කිරීමක් කරනවා. සැම දෙනාගේම දැන ගැනීම සහ පොදු යහපත පිණිස එම පැහැදිලි කිරීම පහත ඉදිරිපත් කරමු:

 

කල්බදු මූල්‍ය සමාගම කරන මගඩියක් තමයි, ලීසිං වාරික නොගෙවූ විට මහේස්ත්‍රාත් අධිකරණවල පුද්ගලික පැමිණිලිමත අපරාධ නඩු පවරන එක. බොහෝ විට එම නඩු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(අ.) වගන්තිය යටතේ පවරන නඩු. සාමාන්‍යයෙන් පැමිණිලි වල තියෙන්නේ කල්බදු ගැනුම්කරු විසින් 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනතේ 39 වගන්තියේ අර්ථය තුළ වරදක් කර ඇති බව හා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තියේ අර්ථය තුළ වරදක් කර ඇති බවයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුවල විශේෂත්වය තමයි, වගඋත්තරකරු මුලින්ම ඇප තැබිය යුතුයි. ඊට පස්සේ සෑම නඩු දිනකම පැමිණීම අනිවාර්යයි. නෑවිදින් හිටියොත් වරෙන්තු. ඉතිං දිස්ත්‍රික් උසාවියට වඩා මහේස්ත්‍රත් උසාවියට බයයි. ලීසිං කොම්පැනිත් මේක දන්නවා. ඒකයි මේ නඩු දාන්නේ. දාපු හැටිය, මේ නඩු සමථ කරගන්න කල්බදු ගැනුම්කරුවොත් උත්සාහ කරනවා රිමාන්ඩ් වෙන එක ලොකු ප්‍රශ්නයක් නිසා. කවුරුත් නීතිඥවරුන්ට උපදෙස් දෙන්නේ නෑ මේ නඩුවලට එරෙහිව උසාවියේ වාද කරන්න කියලා. එසේ වාද කරනවා නම් ඇති නීතිමය ස්ථාවරය මෙයයි:

කල්බදු පනතේ 39 වන වගන්තියට වැටෙන අපරාධ කල්බදු ගැනුම්කරුවෙකුට අදාල වන්නේ නැත. එම වැරදි සියල්ලම කල්බදු සමාගමට හා එහි අධ්‍යක්ෂකවරුන්ට අදාල වැරදි. 2000 අංක 56 දරණ මූල්‍ය කල්බදු පනතේ 39 වන වගන්තියේ කියන්නේ සෑම පුද්ගලයෙකුම -

(අ) 2 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව මූල්‍ය කල්බදු ව්‍යාපාරය කරගෙන යාම;

(ආ) 5 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූල වීමට අපොහොසත් වීම;

(ඇ) 6 වන වගන්තියට අනුව වාර්ෂික ලියාපදිංචි ගාස්තුව ගෙවීමට අපොහොසත් වීම;

(ඈ.) 7 වන වගන්තිය යටතේ අවශ්‍ය තොරතුරු සැපයීමට අපොහොසත් වීම;

(ඉ) 8 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව මෙහෙයුම් අත්පොතෙහි අඩංගු තොරතුරු හෝ සංදේශය හෝ සංගමයේ ලිපි වෙනස් කිරීම; හෝ

(ඊ) මේ පනත යටතේ සිදු කරන කුමන හෝ රෙගුලාසි උල්ලංඝනය කිරීම හෝ මෙම පනත යටතේ නිකුත් කර ඕනෑම නිර්දේශයකට හෝ නිවේදනය සමඟ අනුකූල වීමට අසමත් වීම.

පැහැදිලිවම 2, 5, 6, 7, 8 වගන්ති අදාල වන්නේ සමාගමේ කළමණාකරනය පිළිඹඳවයි. එතකොට මූල්‍ය සමාගම්වල තර්කය වන්නේ, (ඊ) වගන්තිය යටතේ නොතිසි වලට කල්බදු ගැනුම්කරු අනුකූල නොවීම යන පදනම මත නඩු පවරන බවයි.

 නමුත් පනතේ 32, 33 හා 34 වගන්තිවල පැහැදිලිව දක්වා ඇත්තේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ අධ්‍යක්ෂක විසින් කරනු ලබන නිර්දේශ හා නිවේදන ආදියට මූල්‍ය සමාගම අනුකූළ නොවන විට ඒ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමයි. නමුත් මෙම නෝතීසි යන වචනය, පනතේ 21 වගන්තියේ මූල‍්‍ය සමාගම ගැනුම්කරුවන් වෙත යවන නොතිසියට අදාලකර ගැනීමේ හැකියාවක් නෑ. 21 වගන්තිය යටතේ යවන නොතිසියකට අනුකූල නොවන විට සිදුවන තත්ත්වය 20 වන වගන්තියේ පැහැදිලිව දක්වා තියෙනවා.

ඉහත තත්ත්වයන් යටතේ, කල්බදු සමාගම්වලට කල්බදු මූල්‍ය පනත යටතේ නඩු පැවරීමේ හැකියාවක් නෑ. නමුත් අවාසනාවකට මේ තත්ත්වය අපි දකින්නේ නෑ.

දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ වරදක් සිදුවීමට නම්, අනෙකෙකුගේ දේපළක් සාපරාධි ලෙස පරිහරණය කල යුතුය. ගිවිසුම අනුව වාරික නොගෙවා වාහනය පාවිච්චි කිරීම සාපරාධී පරිහරණයක් වන විදිහ ඔප්පු කිරීමට අපහසු දෙයක්.

එහෙම කියලා, කල්බදු ගිවිසුමක් මත ලබාගත් වාහනයක් සම්බන්ධයෙන් වාරික නොගෙවා ඇති විටක, එහි සන්තකය බලහත්කාරයෙන් ලබාගැනීමට ප්‍රතිපාදන නොමැත. සන්තකය ලබාගත හැකි ක්‍රම දෙකක් පනතේ දැක්වෙනවා. පළමු ක්‍රමය තමයි ප්‍රතිරෝධයක් නොදක්වන විට. ඒ කියන්නේ ගැනුම්කරු විරුද්ධ නොවන විට. ඒ අවස්ථාවකදී වාහනයේ සන්තකය ලබාගත හැකියි. නමුත්, එසේ කිරීමටත් පළමුව අදාල රථය ඇති ප්‍රදේශයේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී සාමය කඩ නොවන ආකාරයට පොලිස් සහය ඇතිව, ප්‍රතිරෝධයක් නොදක්වන විටක සන්තකය ලබාගත හැකියි. ඒ කියන්නේ බලහත්කාරයෙන් නිවසකට ඇතුල් වෙලා, වාහන අරගෙන යන්න බෑ. පාරේ දුවන වාහනයක් රියදුරා එළියට ඇදලා දාලා අරගෙන යන්න බෑ. විරෝධතාවයක් නැති විටක උනත් වාහනයක සන්තකය ලබා ගන්න පොලිස් සහය අවශ්‍යයයි. ප්‍රතිරෝධය දක්වන විටකදී සන්තකය ලබාගත හැකි ආකාරය පනතේ 28 වන වගන්තියේ දක්වා තියෙනවා. ඒ දිසා අධිකරණයේ නඩුවක් පවරා තීන්දුවක් ලබා ගැනීමෙන්.

අපි ඔක්කෝම දන්නවා දිසා අධිකරණවල නඩු දිගු කාලයක් ගන්නවා කියලා. ඉතිං එහෙමයි කියලා අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කිරීම නුසුදුසුයි.

ඔය විදිහටම තමයි චෙක්පත් මගින් වංචා කිරීම කියලා ඉස්සර ණය ආපසු එකතු කරන අය පොලීසිය අල්ලගෙන නඩු දැම්මේ. අභියාචනාධිකරණය ඒ ක්‍රියාවලියට තිත තිබ්බා මෙන්න මෙහෙම කියලා. මේ ලීසිං මාෆියාවටත් ඒ ආකාරයටම තමයි තිත තියන්න වෙන්නේ.

Senananda v. Attorney General, CA/PHC/APN/28/2014, CAM 07.07.2014 per Salam J.

In the course of the argument, it came to light that several Magistrate's Courts of different jurisdictions adopt the identical method to deliver hurried justice. To my mind, this is a cause for unpleasant surprise and under no circumstances can it be condoned. Such procedure which is unknown to the Law, if encouraged would destroy the entire fabric of justice and a perpetual challenge to the implementation of the concept of presumption of innocence enshrined in the Constitution, evidentiary rule relating to burden proof enacted in the Evidence Ordinance, procedural mode of recording admissions authorized under the Code of Criminal Procedure and recording of confessions and statements pending investigation under Section 127 of the Code of Criminal Procedure and the scheme relating to compounding of offences under Section 266 of the Code of Criminal Procedure.

In construing the relevant legal provisions relating to conduct of prosecutions, we cannot throw into jeopardy the entire fabric of administration of law and justice and directly or indirectly encourage or condone extra judicial approaches to take precedence over the time-tested Law and established procedures. Such innovative practices, if disregarded would lead to a disruption of the Rule of Law and the Administration of Justice which this Court and all other Courts including the Magistrate's Courts are committed to preserve.