සමූපකාර සේවකයන් පිළිබද විනය පරීක්ෂණ පැවැත්වීම

සමූපකාර සේවකයන් පිළිබද විනය පරීක්ෂණ පැවැත්වීම

සමූපකාර සමිතියක විනය පාලන බලධාරියා වන්නේ එම සමිතියේ කාරක සභාවයි. නමුත් මේ සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇත. සමූපකාර සේවකයන් සම්බන්ධයෙන් වන විනයානුකූල ක්‍රියා පටිපාටිය පහත දක්වමු:

  1. යම් සේවකයකු විසින් විනය විරෝධී කාර්යයක් කර ඇතැයි සැක කරනු ලබන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් මුලින්ම අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්විය යුතුය. එය මූලික විමර්ශනය යනුවෙන් හැදින්වේ.
  2. මූලික විමර්ශනයක් භාර විමර්ශන නිලධාරියා චෝදනාවට ලක් ව සිටින සේවකයාට වඩා ජ්‍යේෂ්ඨ වූ විධායක ශ්‍රේණියේ සේවකයෙක් විය යුතුය. කාර්ය මණ්ඩලයේ එවැනි සේවකයකු නැත්නම් වෙනත් සමිතියකින් එවැනි සේවකයකු යොදා ගත හැකිය.
  3. මෙම විමර්ශනය හුදෙක්ම කරුණු සොයා ගැනීම අරමුණු කර ගෙන පවත්වන්නකි.
  4. කිසියම් සිද්ධියක් පිළිබදව එක එල්ලේ චෝදනා කළ හැකි අයෙකු සොයා ගත නොහැකි අවස්ථාවක ද මූලික විමර්ශන පවත්වා චෝදනා එල්ල කළ හැකි අය කවුරුන්ද යන්න සොයා ගැනීමට ඉඩ සැලසෙනු ඇත. එනම් මෙයින් කෙරෙන්නේ වරදක් හෙළිදරව් කර ගැනීමට අදාල කරුණු සොයා ගැනීමය.
  5. මූලික විමර්ශන හැකිතාක් අප්‍රමාදව සිදු කළ යුතුව ඇත.
  6. මූලික විමර්ශනයේ දී සමූපකාර සේවකයකු හෝ සේවකයන් කීප දෙනෙකු අතින් වරදක් හෝ වැරදි කීපයක් සිදු ව ඇති බව බැලූ බැල්මට පැහැදිලි වන්නේ නම් එවැනි සේවකයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමට අවතීර්ණ විය හැකිය. එහිදී මූලික විමර්ශන වාර්තාවද, විමර්ශන නිලධාරී විසින් සටහන් කර ගනු ලැබූ සාක්ෂි ප්‍රකාශනයන් ද, කෙටුම්පත් කර ඇති චෝදනාවන් ද, විමර්ශන නිලධාරී විසින් දක්වා ඇති නිර්දේශයන් ද කාරක සභාව විසින් සැළකිල්ලට ගත යුතුය.
  7. එම වාර්තා සළකා බැලීමෙන් සති 04 කට නොවැඩි කාල සිමාවක් තුළ දී නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට නියම කරමින් සේවා යෝජකයා විසින් සේවකයා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. චෝදනා පත්‍රයට අත්සන් කළ යුතු වන්නේ සභාපතිවරයා ය.
  8. එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සදහා අවම වශයෙන් දින 14 ක කාලයක් ලබා දිය යුතුය.
  9. විනය පරික්ෂණයක් කිරීමේ දී විනය පරික්ෂණ නිලධාරියකු සමිතිය විසින් පත් කළ යුතුය. ඒ සදහා පත් කළ යුතු වන්නේ සමූපකාර සමිතිවල හෝ රජයේ හෝ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාමගත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ය.
  10. විනය පරික්ෂණ නිලධාරියකු පත් කිරීමේ බලය සමිතියට ඇති නමුත් එසේ තෝරා ගත් තැනැත්තා සුදුසුස්සකු ද නැත්ද යන්න තීරණය කිරීමේ බලය කොමිෂන් සභාවට ඇත.
  11. සමිතිය විසින් විනය පරික්ෂණය පැවැත්වීමේ දී සමිතිය වෙනුවෙන් නීති නියෝජිතයකු පත් කළ හැකිය.
  12. චෝදනාවට ලක් වු සේවකයාට ද තමා වෙනුවෙන් නීති නියෝජිතයකු තබා ගැනීමේ අයිතිය ඇත.
  13. චෝදනා පත්‍රයට පිළිතුරු දීමට මත්තෙන් සේවකයාට විරුද්ධව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අදහස් කෙරෙන ලියවිලි පරික්ෂා කර බැලීම පිණිස ඉඩ දෙන ලෙස සේවකයා විසින් කරන ඉල්ලීමක් ඉටු කිරීමට සමිතිය බැදී සිටියි. ඒ සදහා සාධාරණ කාලයක් සමිතිය විසින් සේවකයා වෙත ලබා දිය යුතුය. සේවකයාට සහ සේවකයාගේ නීති නියෝජිතයාට මෙම ලේඛණ පරික්ෂා කර බැලිය හැකිය.
  14. විනය පරික්ෂණයක් කිරීම පිණිස වැඩ තහනම් කිරීම අත්‍යාවශ්‍ය වන්නේ නැත.
  15. විනය පරික්ෂණයක් කිරීමේ දී වැඩ තහනම් කළ යුතු අවස්ථා දෙකක් කොමිෂන් සභා පනතේ දක්වා ඇත. එනම් (අ) ඔප්පු වුවහොත් සේවයෙන්පහ කිරීමට තරම් බරපතල චොදනා ඇති විට (ආ) අපරාධ නුඩුවක් පැවරීමට සූදනම්ව සිටින විට (3) සේවයෙන් පහ කිරීමට තරම් හේතු ඇති බරපතල කාරණාවක් සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් ලැබී ඇති විටක මිස සේවකයකුගේ සේවය තහනම් නොකළ යුතුය.
  16. සාක්ෂි විමසීමේ දී ප්‍රධාන සාක්ෂි ඇසීම ද, හරස් ප්‍රශ්න ඇසීම ද නැවත සාක්ෂි විමසීම ද දෙපක්ෂයේම අයිතියකි.
  17. විනය පරික්ෂණය අවසන් වූ වහාම පරික්ෂණ නිලධාරී විසින් ඔහුගේ මතය හා ඊට හේතු සාධක සහිත වාර්තාව සමිතිය වෙත ලැබීමට සැලැස්විය යුතුය.
  18. වාර්තාව අනුව තීරණ ගැනීමේ බලය ඇත්තේ කාරක සභාවට ය.
  19. විනය පරික්ෂණ නිලධාරීයාගේ නිගමන ප්‍රතික්ෂේප කිරීමේ බලය පවා කාරක සභාවට ඇත.
  20. ඒ අනුව අවසාන වශයෙන් විනය නියෝග නියම කිරීමේ  බලය ඇත්තේ කාරක සභාවට ය.
  21. කාරක සභාව විසින් දෙනු ලබන විනය නියෝගයකට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය සේවකයාට ඇත.