සමූපකාර සේවකයෝ:

සමූපකාර සේවකයෝ:

සමූපකාර විෂය පලාත් සභාවන්ට විමධ්‍යගත කරනු ලැබ ඇති විෂයකි. එක් එක් පලාත්වලට අදාල සමුපකාර සමිති එම පලාත් සභාව යටතේ පවත්නා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සේවක කොමිෂන් සභාවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව සමුපකාර විෂය සදහා පවතින්නේ මුළු රටටම අදාල වන පොදු නීති මාලාවක් නොවේ. ඒ ඒ පලාත් සභාව විසින් සම්මත කර ගෙන ඇති සමූපකාර ප්‍රඥප්ති ඇති අතර සමූපකාර සමිති සහ සේවකයන් සම්බන්ධයෙන් නියාමනය සිදු වන්නේ එකී ප්‍රඥප්ති සහ එම ප්‍රඥප්ති යටතේ පනවා ඇති රීති සහ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛ අනුව වේ.

සමූපකාර සේවකයන් වෙනම නීතියකින් පාලනය වන්නේ ඇයි? සමූපකාර යනු සියවසකට අධික ඉතිහාසයක් ඇති සුවිශේෂ වූ ප්‍රජා මූලික වූ ආයතනික සංවිධානයක් වන අතර පසුගිය අවුරුදු 110 කට අධික කාලය තුල මෙම ව්‍යාපාරය සියළු ගම් දනව් පුරා ව්‍යාප්තව ගිය ශක්තිමත් ජාලයක් බවටත් ඒ නිසාම බිහි වූ සුවිශේෂ සේවක පංතියක් සහිත වීමත්, මෙම ව්‍යාපාරය ආර්ථිකයටත් ප්‍රජා සංවර්ධනයටත් කරනු ලබන දායකත්වයේ විශේෂත්වයත් නිසා සමූපකාරය යන්න රාජ්‍ය ආර්ථික ක්‍රම සම්පාදනය තුල බැහැර කළ නොහැකි විෂයක් බවට පත් ව තිබුණි. 1987 පලාත් සභා හදුන්වා දෙන තුරු ම සමූපකාරය යන්න වෙළද අමාත්‍යංශය යටතේ පැවති විෂයක් වු අතර පළාත් සභා ස්ථාපිත කිරීමෙන් පසුව පළාත් සභාවේ වෙළද කටයුතු භාර අමාත්‍යවරයාට අයත් විෂයක් බවට සමුපකාරය පත් කර ඇත.

එම නිසා පළාත් සභාවෙන් පළාත් සභාවට සමූපකාරය නියාමනයට අදාල නීති රිතී අතර වෙනස්කම් පවතී.

මෙම වෙනස්කම් එසේ පැවතිය ද සමස්ථයක් වශයෙන් පළාත් සභා සියල්ලෙහිම ඇති සමූපකාර ප්‍රඥප්තීන්ට පදනම් වන්නේ 1972 අංක 05 දරන සමූපකාර සමිති පනතත් ඒ යටතේ සකස් කරන ලැබ ඇති සමුපකාර සමිති රීති මාලාවත් ය.

එසේම සමූපකාර සේවකයන්ගේ නියාමනය වෙනුවෙන් පළාත් සභා මගින් පළාත් සමූපකාර සේවක  කොමිෂන් සභා පිහිටුවා තිබුන ද එම කොමිෂන් සභා ස්ථාපිත කිරීමට අදාල විධිවිධාන සංග්‍රහ ගත කර ඇත්තේ  1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනතේ ඇති විධිවිධාන පදනම් කර ගෙන ය. සමූපකාර සමිතිවල සේවකයන්ට වැදගත් විය හැකි මීට අදාල මූලික කරුණු කීපයක් පහත දක්වා ඇත:

  1. සමූපකාර සමිතියකට තිබිය හැකි සේවක තනතුරු හෙවත් පිරිස් බලය තක්සේරු කිරීමේ වගකීම ඇත්තේ සමූපකාර කොමසාරිස්වරයාටය. තමන්ගේ සමිතියට අවශ්‍ය වන්නා වූ තනතුරු මොනවාද යන්න සමිතියක කාරක සභාව විසින් තීරණය කර එය අනුමැතිය සදහා සමූපකාර කොමසාරිස්වරයා වෙත යැවිය යුතුය. සමූපකාර කොමසාරිස්වරයා විසින් එම තනතුරු ලේඛණය පිළිබද විමර්ශනයක් සිදු කර අවශ්‍ය වෙනස්කම් සහිතව හෝ රහිතව එකී පිරිස්බල ලේඛණය අනුමත කළ හැකිය. සමූපකාර සමිතියක කාරක සභාවක් විසින් සේවකයන් බදවා ගැනීමේ දී එසේ බදවා ගැනීම කළ හැක්කේ අනුමත තනතුරක් සදහා පමණකි.
  2. එසේම තනතුරු සදහා නියමිත වැටුප් පරිමාණ, වේතන ප්‍රමාණයන් නියම කිරීම, දීමනා, ගාස්තු සහ අනිකුත් ගෙවීම් තීරණය කිරීම හා සේවය පිළිබදව පොදු කොන්දේසි හා නියමයන් පැනවීම සමූපකාර සේවක කොමිෂන් සභාවේ කාර්යයකි. එවැනි සෑම කරුණක් සදහාම සමිතියක කාරක සභාව විසින් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතුය.
  3. සමූපකාර සමිතියක කිසියම් තනතුරක සිටින සේවකයකු එම තනතුරට අදාල නියමිත සුදුසුකම් සපුරා තිබේ ද යන කරුණ කොමිෂන් සභාව සෑහීමකට පත්වන පරිදී තහවුරු කොට දැක්වීමට සේවකයන් යටත් වේ.
  4. සේවකයන්ට විරුද්ධව සමූපකාර සමිති කාරක සභාවක් විසින් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ක්‍රියාවට නැංවීමේ දී පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටිය නිශ්චය කිරීම සහ විනය පරික්ෂණ කටයුතු නිශ්චිත කාල සීමාවක දී අවසන් කිරීම සදහා කාල සීමා පැනවීමේ බලය සේවක කොමිෂන් සභාවට ඇත.
  5. විනය පරික්ෂණ ක්‍රියාවලියකින් පසුව කාරක සභාව විසින් තමාට නියම කරනු ලැබූ විනය නියමයකින්, දඩුවමකින් අතෘප්තියට පත් යම් සේවකයකු විසින් තමාට එරෙහිව නියම කරන ලද දඩුවමකට විරුද්ධව යම් නිශ්චිත කාලයක් ඉක්ම යාමට මත්තෙන් කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
  6. අභියාචනා සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව විසිනි.
  7. කොමිෂන් සභාව විසින් නිකුත් කෙරෙන නියෝග අනුව අවශ්‍ය කටයුතු කිරීමට සමිතිය බැදී සිටියි.
  8. සමූපකාර සේවකයන් හට කම්කරු විනිශ්චය සභාවක් වෙත ද අයදුම් කළ හැකි නමුත් එසේ කළ හැක්කේ විෂය කාරණා දෙකක් සම්බන්ධයෙන් පමණි: (අ) සේවකයකුගේ සේවය සමාප්ත කිරීම (ආ) සේවා ගිවිසුම් ගත ආකාරයට සේවකයකුට හිමි ගෙවීමක් නොගෙවා පැහැර හැර ඇති විටක
  9. කම්කරු විනිශ්චය සභාවක් වෙත කරනු ලැබූ ඉල්ලීමක දී සමුපකාර සමිතියක් විසින් එහි සේවකයාට විරුද්ධව පැවැත්වූ  විනය පරික්ෂණ වාර්තාව අදාල කර ගනු ලබන්නේ නැත. එහිදී මුල පටන්ම නැවත සාක්ෂි විමසීමක් සිදු කෙරේ.
  10. කොමිෂන් සභාවේ තීරණයකට එරෙහිව අභියාචනා කිරීමට අවසර ඇත්තේ සීමිත කොන්දේසි යටතේ නමුත් නමුත් කම්කරු විනිශ්චය සභාවක තීරණයට එරෙහිව අභියාචනා කළ හැකිය.